Swipe left or right to navigate stories
ලොව වටා ගිය 'විලා ඔඩිසි' සුඛෝපභෝගී නෞකාව අතරමග නතර වෙයි – මගීන් 200ක් කාම්බෝජයේ අතරමං

ලොව වටා ගිය 'විලා ඔඩිසි' සුඛෝපභෝගී නෞකාව අතරමග නතර වෙයි – මගීන් 200ක් කාම්බෝජයේ අතරමං

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති ඉරාන යුද ගැටුම් හේතුවෙන් ගෝලීය වෙළඳපොළේ ඉන්ධන මිල දැඩි ලෙස ඉහළ යාම හමුවේ, ලොව වටා වසර තුනහමාරක ඓතිහාසික සංචාරයක නිරත වෙමින් තිබූ ‘විලා ඔඩිසි’ සුඛෝපභෝගී මගී නෞකාවේ සංචාරය අතරමග අත්හිටුවීමට එහි පාලනාධිකාරියට සිදුව තිබේ.

මෙම හදිසි තීරණයත් සමඟ රටවල් රැසක සංචාරකයින් ඇතුළු මගීන් 200කට අධික පිරිසක් කාම්බෝජයේ සිහානොක් වරාය නගරයේ අසරණව අතරමංව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



බඩු බාගෙන වහාම නැවෙන් බහින්නැයි මගීන්ට හදිසි නියෝගයක්

නෞකාව කාම්බෝජයේ සිහානොක් වරායේ නැංගූරම් ලෑමෙන් අනතුරුව, සංචාරය මෙතෙකින් අවසන් කරන බවත් සියලු බඩු භාණ්ඩ රැගෙන නෞකාවෙන් වහාම පිටවන ලෙසත් එහි කාර්ය මණ්ඩලය විසින් මගීන්ට දැනුම් දී ඇත.

කාම්බෝජයේ සිහානොක් ප්‍රාන්තයේ නියෝජ්‍ය ආණ්ඩුකාර ලෝන්ග් ඩිමාන්චේ මහතා තහවුරු කළ පරිදි, මෙම අනපේක්ෂිත සිදුවීම වන විට නෞකාව තුළ මගීන් 203 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 156 දෙනෙකු රැඳී සිට තිබේ.



ඉන්ධන පිරිවැය දරාගත නොහැකි වූ ඇමෙරිකානු සමාගම

මෙම සුවිශේෂී සංචාරය සංවිධානය කර තිබුණේ ඇමෙරිකාව පදනම් කරගත් 'විලා රෙසිඩන්සීස්' සමාගම විසිනි.
සමාගම නිවේදනය කර ඇත්තේ ආසියාවේ රටවල් කිහිපයක පවතින අධික ඉන්ධන මිල හමුවේ නෞකාවේ ඉදිරි මෙහෙයුම් පිරිවැය අතිවිශාල ලෙස ඉහළ ගොස් ඇති බවය.

එමෙන්ම එම අමතර මූල්‍ය බර මගීන් පිට පැටවීම කිසිසේත්ම ප්‍රායෝගික නොවන බැවින්, මෙහෙයුම තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකිව සංචාරය මෙලෙස නිමා කිරීමට සිදු වූ බව ඔවුන් සඳහන් කරයි.



දින 1,301ක සිහිනය දින 755න් බිඳ වැටෙයි

ලොව පුරා රටවල් 147ක වරායන් 425ක් ආවරණය වන පරිදි වසර 3කුත් මාස 6ක කාලයක් (දින 1,301ක්) පුරා සැලසුම් කර තිබූ මෙම අතිසුඛෝපභෝගී චාරිකාව ආරම්භ වූයේ 2024 ඔක්තෝබර් මාසයේදී උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් වරායෙනි.

කෙසේ වෙතත් සම්පූර්ණ කිරීමට නියමිතව තිබූ දින 1,301න් දින 755ක් සාර්ථකව ගෙවා දමා තිබූ පසුබිමක, ගෝලීය භූ-දේශපාලනික අර්බුදය හා ඉන්ධන අර්බුදය හමුවේ සංචාරකයින්ගේ එම දිගුකාලීන සිහිනය කාම්බෝජයේදී මෙලෙස හදිසියේම බිඳවැටී ඇත.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem