Swipe left or right to navigate stories
ලියොනල් මෙසී අවසන් ගෝලයත් වාර්තා කරමින් ජාත්‍යන්තර තරග බිමට සමුදෙයි

ලියොනල් මෙසී අවසන් ගෝලයත් වාර්තා කරමින් ජාත්‍යන්තර තරග බිමට සමුදෙයි

පාපන්දු ලොවේ පුරාවෘත්තයක් වන ලියොනල් මෙසී, ඊයේ බුවනෝස් අග්‍රේස් නුවරදී බෙනින් රාජ්‍යයට එරෙහිව පැවැති සුහද තරගයේදී ආර්ජන්ටිනාව වෙනුවෙන් සිය අවසන් ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළේය.

ආජන්ටිනාවේ දී පැවති එම තරගය ගෝල 3-0 ක් ලෙස ජය ගැනීමට ආර්ජන්ටිනාව සමත් වූ අතර එහිදී මෙසී දඩුවම් පහරක් මගින් ගෝලයක් රැස් කරමින් සිය ජාත්‍යන්තර පාපන්දු දිවිය නිමාවට පත් කළේය.

ලෝක කුසලාන පාපන්දු තරගාවලි 6 කදී ආර්ජන්ටිනාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇති මෙසී, 2022 වසරේ පැවති තරගාවලියේදී ආර්ජන්ටිනාවට ලෝක කුසලානය දිනා ගැනීම වෙනුවෙන් නායකත්වය ලබා දුන්නේය.

මෙසී ආර්ජන්ටිනාව වෙනුවෙන් තරග 207 කට ක්‍රීඩා කර ඇති අතර එය එරට ඉතිහාසයේ ක්‍රීඩකයෙකු නියෝජනය කළ වැඩිම තරග සංඛ්‍යාව වේ. එමෙන්ම ගෝල 125 ක් රැස් කරමින් ඔහු එරට වැඩිම ගෝල ලාභීන්ගේ ලැයිස්තුවේ පෙරමුණේ පසුවේ.



පසුබිම

පාපන්දු ක්‍රීඩාවේ සදාතනික විශිෂ්ටයෙකු ලෙස සැලකෙන මෙසී, ප්‍රථම වරට 2005 වසරේදී වයස අවුරුදු 18 දී ආර්ජන්ටිනා ජාතික කණ්ඩායම නියෝජනය කළේය.

ඔහුගේ නායකත්වය යටතේ 2022 ෆීෆා ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ආර්ජන්ටිනාව සමත් වූ අතර එය එම දකුණු ඇමෙරිකානු රට වසර 36 කට පසුව දිනාගත් තෙවන ලෝක කුසලාන කිරුළ විය.

තවද ඔහු ආර්ජන්ටිනාව කෝපා ඇමෙරිකා ශූරතා දෙකක් වෙත මෙන්ම, යුරෝපීය ශූරයන් සහ දකුණු ඇමෙරිකානු ශූරයන් අතර පැවැත්වෙන 2022 'ෆයිනලසිමා' තරගයේ ජයග්‍රහණය කරාද මෙහෙයවීය.



සමුගැනීම

2026 ෆීෆා ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ස්පාඤ්ඤය හමුවේ ආර්ජන්ටිනාව 1-0 ක් ලෙස පරාජයට පත්වී මාස එකහමාරකට පමණ පසුව, එනම් අගෝස්තු 31 වන දින මෙසී සිය ක්‍රීඩා දිවියෙන් සමුගන්නා බව නිවේදනය කළේය.

මෙසී අගෝස්තු 31 වැනිදා ස්පාඤ්ඤ භාෂාවෙන් අතින් ලියන ලද සටහනක් ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ පළ කරමින් සිය සමුගැනීම නිවේදනය කළේය.

එම සටහනේ සිංහල පරිවර්තනයක සඳහන් වූයේ, "අවසන් මහා තරගයෙන් දින දෙකකට පසුව, එනම් ජූලි 21 වන දින මම මෙම වචන ලිවුවෙමි. අද මගේ පියාට සිදු වූ දෙයින් පසුව, මම මීට පෙරටත් වඩා ඒ ගැන දැඩි ලෙස විශ්වාස කරමි." යනුවෙනි.

මෙසීගේ පියා වන ජෝර්ජ්, අගෝස්තු 08 වන දින ආර්ජන්ටිනාවේ රොසාරියෝ නගරයේ රෝහලකදී අවුරුදු 68 ක් ආයු විඳ අභාවප්‍රාප්ත විය.



සම්මාන සහ ඇගයීම්

සිය ක්‍රීඩා දිවියේ ආරම්භක භාගයේදී ජාත්‍යන්තර මට්ටමේ දැඩි පසුබෑම්වලට මුහුණ දුන්නද, සමාජ මට්ටමින් සහ ජාතික මට්ටමින් මෙසී ලැබූ ජයග්‍රහණ සමඟ සමපාත විය හැක්කේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට පමණි.

2014 ලෝක කුසලානය, 2015 කෝපා ඇමෙරිකා සහ 2016 කෝපා ඇමෙරිකා සෙන්ටනාරියෝ යන තරගාවලි තූනෙහිම ආර්ජන්ටිනාව අවසන් මහා තරග වෙත මෙහෙයවූ නමුත් එම තරග 3 ම පරාජයට පත්වීම නිසා මෙසී 2016 වසරේදී තාවකාලිකව ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවෙන් සමුගත්තේය.

කෙසේ වෙතත් ඉන් කෙටි කලකට පසු නැවතත් කණ්ඩායමට එක්වූ ඔහු, 2021 සහ 2024 යන වසරවලදී පිට පිටම කලාපීය ශූරතාව (කෝපා ඇමෙරිකා) ජයග්‍රහණය කිරීමට ආර්ජන්ටිනාව මෙහෙයවීමට සමත් විය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem