Swipe left or right to navigate stories
ලංකාවේ වෙරළ සහ මුහුද රකින්න සුහුරු තාක්ෂණය මුසු වෙයි

ලංකාවේ වෙරළ සහ මුහුද රකින්න සුහුරු තාක්ෂණය මුසු වෙයි

රාජ්‍ය ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව ක්‍රියාවට නංවමින් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය හා වෙරළ පද්ධතිය අපද්‍රව්‍යවලින් තොර සෞඛ්‍ය සම්පන්න කලාපයක් බවට පත්කිරීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් "Ocean Watch" වෙබ් පාදක ජංගම යෙදවුම නිල වශයෙන් හඳුන්වා දී තිබේ.

1970 සමුද්‍ර කලාප නීතියට අනුව ගොඩබිම මෙන් අට ගුණයකටත් වඩා විශාල සාගර කලාපයකට සහ කිලෝමීටර් 1700 කට ආසන්න වෙරළ තීරයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවට, මෙම නව ඩිජිටල් ප්‍රවේශය අතිශය වැදගත් පියවරක් වනු ඇත.



ගැටලුව සහ පසුබිම

මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ගංගා සහ ඇළ මාර්ග ඔස්සේ ගොඩබිමෙන් මහා සාගරයට එකතු වන අපද්‍රව්‍ය නිසා මෙරට සාගර පරිසර පද්ධතිය දිනෙන් දින දූෂණය වේ. මෙය සාගර ජෛව ප්‍රජාවගේ පැවැත්මට මෙන්ම රටේ ආර්ථිකයට සෘජුවම දායක වන ධීවර හා සංචාරක කර්මාන්තයන්ටද දැඩි බලපෑම් එල්ල කරමින් පවතී.

මෙම අහිතකර බලපෑම් වළක්වා ගැනීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් වෙරළබඩ දිස්ත්‍රික්කවල සියලුම මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළු අදාළ සියලුම ආයතන පාර්ශවකරුවන් කරගනිමින් වෙරළ කළමනාකරණ කමිටු ස්ථාපිත කර "වෙරළ හා වරාය අපද්‍රව්‍ය කළමණාකරණය සඳහා වන යෝජනාවලිය" සකස් කර තිබුණි.

එම වගකීම් වඩාත් විධිමත්ව සහ පහසුවෙන් ඉදිරියට රැගෙන යාම සඳහා "Ocean Watch" ජංගම යෙදවුම නිර්මාණය කර ඇත.



කාර්යභාරය

වෙරළ හා ධීවර වරායයන් ආශ්‍රිතව පවිත්‍රතා වැඩසටහන් සංවිධානය කරන කණ්ඩායම් සහ අපද්‍රව්‍ය කළමනාකරණයට අදාළ සියලුම රාජ්‍ය ආයතන අතර සෘජු සම්බන්ධීකරණය මෙමගින් සිදු කෙරේ.

ගොඩබිමෙන් පැමිණෙන අපද්‍රව්‍ය පාලනය සඳහා ඇළ මාර්ග හරහා බාධක යෙදිය යුතු ස්ථාන පිළිබඳ හඳුනාගත් තොරතුරුද මීට ඇතුළත්ය.

පවිත්‍ර කළ යුතු වෙරළ තීරයන් පිළිබඳ විස්තර මෙම යෙදවුමෙහි සඳහන් කර ඇති බැවින් ගිවිසුම්ගත කාලසීමාවක් තුළ ඒවා දිනපතා නඩත්තු කිරීමට කැමති පෞද්ගලික අංශයට සහ රාජ්‍ය නොවන සංවිධානවලට අවස්ථාව ලැබෙන අතර ආයතනික වගකීම් ව්‍යාපෘතිද මේ සමග සම්බන්ධ කළ හැකිය.

ඕනෑම පුරවැසියෙකුට සමුද්‍ර පරිසරය ආශ්‍රිතව සිදුවන හානි සහ පැමිණිලි ක්ෂණිකව බලධාරීන් වෙත යොමු කිරීමට ද මෙමගින් අවකාශ සලසා දී තිබේ.

රාජ්‍ය පාලන යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව ඉහළ නංවමින් මතු පරපුර උදෙසා සෞඛ්‍යසම්පන්න, පිරිසිදු නිල් සාගරයක් සහ වෙරළ තීරයක් උරුම කරදීමේ මෙම ජාතික මෙහෙයුමට ප්‍රජාවගේ දායකත්වය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අපේක්ෂා කරයි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem