ශ්රී ලංකාවේ ගුවන් භාණ්ඩ නිලධාරීකරණය සහ ප්රවාහන ක්රියාවලිය වඩාත් වේගවත්, කාර්යක්ෂම මෙන්ම පාරදෘශ්ය කිරීමේ අරමුණින් 'ගුවන් භාණ්ඩ ප්රජා පද්ධතියක්' හඳුන්වා දීමේ සැලසුම් නැවත ක්රියාත්මක කිරීමට ශ්රී ලංකාව පියවර ගෙන ඇත.
වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්යාංශයේ මූලිකත්වයෙන් ක්රියාත්මක වන මෙම වැඩපිළිවෙළ සක්රීයව ඉදිරියට ගෙන යාම සඳහා බහු පාර්ශ්වීය කමිටුවක්ද පිහිටුවා තිබේ.
එම කමිටුවට ශ්රී ලංකා ගුවන්තොටුපළ සහ ගුවන්සේවා සමාගම, ශ්රී ලංකා රේගුව, ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ්රී ලංකන් ගුවන් සමාගම සහ ඩිජිටල් ආර්ථික අමාත්යාංශය ඇතුළු අදාළ රාජ්ය හා පෞද්ගලික ආයතනවල නියෝජිතයෝ ඇතුළත්ව සිටිති.
ව්යාපෘතිය නැවත පණගැන්වීමක්
ශ්රී ලංකාව මීට පෙර 2023 වසරේදීද මෙම පද්ධතිය හඳුන්වා දීමට උත්සාහ කළද, ගුවන් භාණ්ඩ ක්රියාවලියට සම්බන්ධ විවිධ පාර්ශ්වකරුවන් අතර ප්රමාණවත් සම්බන්ධීකරණයක් සහ එකඟතාවයක් නොමැති වීම හේතුවෙන් එම වැඩපිළිවෙල අතහැර දැමීමට සිදුවිය.
කෙසේ වෙතත් නව රජය පත්වීමෙන් අනතුරුව අදාළ සියලු ආයතන එක් පොදු වේදිකාවකට ගෙන එමින් මෙම ව්යාපෘතිය නැවත ක්රමවත් ලෙස සක්රීය කර ඇත. මේ වන විට පද්ධතිය හඳුන්වා දීමේ ප්රායෝගික හැකියාව තාක්ෂණික අවශ්යතා සහ ව්යාපාරික අවශ්යතා ඇගයීම සඳහා වූ විශේෂ ශක්යතා අධ්යයනයක් සිදු කෙරෙමින් පවතී.
එමෙන්ම මෙම වැඩපිළිවෙලේ ප්රගතිය පිළිබඳ විශේෂ සමාලෝචන සාකච්ඡාවක් පසුගිය 21 වැනිදා වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්ය අමාත්ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්රධානත්වයෙන් පවත්වා තිබේ.
ක්ෂේත්රයට ලැබෙන වාසි
යෝජිත ගුවන් භාණ්ඩ ප්රජා පද්ධතිය මගින් ගුවන් භාණ්ඩ ප්රවාහන සැපයුම් දාමය පුරා ක්රියාවලිය ඩිජිටල්කරණය වන අතර එමගින් අත්කරගත හැකි ප්රධාන වාසි කිහිපයකි.
එහිදී අනවශ්ය කාඩදාසි භාවිතය අවම කරමින් භාණ්ඩ නිරීක්ෂණ ක්රියාවලිය විධිමත් කෙරේ. රජයේ ආයතන, ගුවන් සමාගම් සහ නියෝජිතයන් අතර තොරතුරු හුවමාරුව වඩාත් පාරදෘශ්ය සහ වේගවත් වේ.
ආනයනකරුවන් සහ අපනයනකරුවන් සඳහා ලබා දෙන සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ යාම තුළින් ජාත්යන්තර වෙළඳාමට හිතකර පරිසරයක් නිර්මාණය වේ.
ශ්රී ලංකාවේ සැපයුම් සහ වෙළඳ පහසුකම් යටිතල පහසුකම් නූතනකරණය කරමින්, කලාපීය ගුවන්සේවා සහ සැපයුම් මධ්යස්ථානයක් ලෙස මෙරට ස්ථාපිත කිරීමේ පුළුල් වැඩපිළිවෙළෙහි වැදගත් පියවරක් ලෙස මෙම පද්ධතිය හඳුන්වා දීම හඳුන්වා දිය හැකිය.
Comments
Moderated before publishing. Your email stays private.