Swipe left or right to navigate stories
රුමේෂ් - පාලිත ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ යළි දිවයිනට

රුමේෂ් - පාලිත ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ යළි දිවයිනට

ස්කොට්ලන්තයේ ගල්ස්ගොව් නුවර පැවැති 23 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීීඩා උළෙලේදී රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනාගනිමින් රටවල් 45 ක් අතරින් 17 වැනි ස්ථානයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (4) ආපසු දිවයින බලා පැමිණියේය.

ඔවුන්ව පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන්, මලල ක්‍රීඩා සම්මේලනය ඇතුළු ක්‍රීඩා සංගම් රැසක නිලධාරීන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පවුල්වල සාමාජිකයන් සහ ඔවුන්ගේ හිතවතුන් රැසක් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියහ.

බ්‍රිතාන්‍ය රජයේ යටත් විජිත ලෙස පැවැති රටවල් අතර 1930 වසරේදී ආරම්භ වූ මෙම තරගාවලිය ස්කොට්ලන්තයේදී පැවැති සිවුවැනි අවස්ථාව මෙය වූ අතර 1938 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව ඊට සහභාගි වූ 21 වැනි අවස්ථාවද මෙය විය.



රුමේෂ්ගේ රන් පදක්කම

වසර 88 ක පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 4 ක් දිනා තිබූ අතර මෙවර තරගාවලියේදී රුමේෂ් ශ්‍රී ලංකාවට දිනාදුන් පදක්කම 5 වැනි රන් පදක්කම ‍ලෙස වාර්තා අතරට එක් විය.

මීටර් 89.75 ක විසිකිරීමකින් දිනාගත් එම රන් පදක්කමත් සමග ඔහුට හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ක්‍රීඩකයා බවට පත්වීමටද දොරටු විවර විය. අවසන් තරගයේදී රුමේෂ්‌ගේ විසිකිරීම් 6 න් 5 ක්ම අසාර්ථක වූ නමුත් නීත්‍යාකුල වූ එකම විසිකිරීමෙන් රන් පදක්කම හිමිකර ගැනීමට ඔහු සමත් විය.

ලෝක ශූරයන් වන ජර්මානු ජාතික ඇන්ඩසන් පීටර්ස් සහ ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබේගෝ ජාතික කෙෂරන් වොල්කොට් මෙන්ම ඔලිම්පික් ශූරයන් වන ඉන්දීය ජාතික නීරජ් චෝප්රා සහ පාකිස්තාන ජාතික අර්ෂඩ් නදීම් වැනි ප්‍රභල ක්‍රීඩකයන් පරාජය කරමින් රුමේෂ් එම ජයග්‍රහණය ලබාගැනීම කැපී පෙණුන සිදුවීමක් බවට පත් විය.



පොදුරද ම‍ඬුලු රන් පදක්කම්

එය වසර 20 කට පසුව ශ්‍රී ලංකාවට හිමි වූ පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම මෙන්ම වසර 76 කට පසුව මලල ක්‍රීඩාවෙන් හිමිවූ පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම ලෙසද සටහන් විය.

චින්තන ගීතාල් විදානගේ 2006 වසරේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී බර ඉසිලීමේ ඉසව්වෙන් දිනාගත් රන් පදක්කම එතෙක් ශ්‍රී ලංකාවට හිමිව තිබූ අවසන් රන් පදක්කම බවට පත්ව තිබිණ.

රුමේෂ්ට සහ චින්තනට පෙර බාර්නි හෙන්රිකස් 1938 වසරේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී බොක්සිං ඉසව්වෙන්ද, ඩන්කන් වයිට් 1950 වසරේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරදී මීටර් 440 කඩුලු පැන දිවීමේ ඉසව්වෙන්ද, පුෂ්පමාලි රාමනායක සහ මාලි වික්‍රමසිංහ 1994 වසරේ කැනඩාවේ වික්ටෝරියා නුවදී වෙඩි තැබීම ඉසව්වෙන්ද රන් පදක්කම් දිනාගෙන තිබිණ.



රුමේෂ්ගේ ගමන් ම‍ඟ

මෙම වසර තුළ හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී සටහන්ව ඇති ලොව හොඳම විසිකිරීම් 5 ම රුමේෂ් සතුවන අතර එම විසිකිරීම් 5 ද සමග හොඳම විසිකිරීම් 15 අතර 7 වතාවක්ම රුමේෂ්ගේ නම සටහන්ව තිබේ.

පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම දිනාගැනීමෙන් පසුව රැමේෂ් කියා සිටියේ තමාගේ මීළඟ බලාපොරොත්තුව වන්නේ මෙම වසරේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේදීත් රන් පදක්කමක් දිනාගැනීම බවය.

ඉන් අනතුරුව ලබන වසරේ පැවැත්වෙන මලල ක්‍රීඩා ලෝක ශූරතාවලි‍යේ සහ 2028 වසරේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේ රන් පදක්කම් කරා යෑමට තමා බලාපොරොත්තුවෙන් පසුවන බවද ඔහු කියා සිටියේය.



සෙසු ක්‍රීඩකයන්ගේ දස්කම්

කවපෙත්ත විසිකිරීමේ පැරා ඉසව්වකදී රිදී පදක්කමක් දිනාගැනීමට සමත් වූ පාලිත බණ්ඩාරට ගුවන්තොටුපළේදී ඉහළ පිළිගැනීමක් හිමිවිය. එය පිට පිටම ඔහු දිනාගත් දෙවැනි පොදු රාජ්‍ය මණ්ඩලීය රිදී පදක්කම මෙන්ම එම ඉසව්ව සඳහා ඔහු දැක්වූ ඉහළම දක්ෂතාවද විය.

පදක්කම් දිනාගැනීමට නොහැකි වුණත් මෙම තරගාවලියේදී සිය ඉහළම පෞද්ගලික දක්ෂතාවන් දැක්වීමට පැරා මලල ක්‍රීඩිකා ජනනි ධනංජනා, පිහිනුම් ක්‍රීඩිකා මිනගී රූපසිංහ, පිහිනුම් ක්‍රීඩක එම්.එස්. මුහම්මද් සහ කෙටි දුර ධාවක දිනෙත් වීරරත්න සමත් වූහ.

බර ඉසිලීමේ ක්‍රීඩක සුපුන් සෝමතිලක තමා සහභාගි වූ ඉසව්වේ සිවුවැනි ස්ථානය හිමිකරගත් අතර තයිකොන්ඩෝ ක්‍රීඩක චාමර ධර්මවර්ධන, බොක්සිං ක්‍රීඩක රුක්මාල් ප්‍රසන්න සහ බොක්සිං ක්‍රීඩිකා නදීකා පුෂ්පකුමාරි ඔවුන් සහභාගි වූ මූලික වටයේ තරගවලදී ජයග්‍රහණ වාර්තා කළහ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem