ලෝක මලල ක්රීඩා සම්මේලනය විසින් යාවත්කාලීන කරන ලද නවතම ශ්රේණිගත කිරීම්වලයට අනුව හෙල්ල විසිකිරීමේ ඉසව්වේ පෙරමුණ ගැනීමට ශ්රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වී ඇත.
පසුගියදා නිමාවට පත් වූ ග්ලස්ගොව් පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේදී මීටර් 89.75 ක දක්ෂතාවක් දක්වමින් හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීම හේතුවෙන් ඔහු මෙලෙස ශ්රේණිගත කිරීම්වල පෙරමුණට පැමිණ තිබේ.
මෙම වසර තුළ හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී වාර්තා වූ හොඳම විසිකිරීම් 10 න් පළමු විසිකිරීම් 5 ද ඇතුළුව විසිකිරිම් 6 කට හිමිකම් කියන රුමේෂ්, මේ වන විට ලබා සිටින ශ්රේණිගත ලකුණු සංඛ්යාව 1354 කි.
පළමු ස්ථානයට පැමිණීම
රුමේෂ් ලෝක ශ්රේණිගත කිරීම්හි පෙරමුණට පැමිණ ඇත්තේ ලකුණු 1348 කට හිමිකම් කියමින් මෙතෙක් එහි පෙරමුණ ගෙන සිටි ජර්මනියේ ජූලියන් වෙබර් පසුපසට ඇද දමමිනි.
පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලට පෙර රුමේෂ් ලකුණු 1347 ක් ලබා ජූලියන්ට වඩා එක් ලකුණක් පසුපසින් සිටි අතර ශ්රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීම සඳහා මීටර් 85 ට වැඩි විසිකිරීමක් අවශ්ය බව ඔහු කියා සිටියේය.
කෙසේ වුවත් පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේදී දැක්වූ දක්ෂතාවයෙන් පසු රුමේෂ් ශේණිගත ලකුණු 7 ක් හිමිකර ගනිමින් ජූලියන්ට වඩා ලකුණු 6 කින් ඉදිරියට පැමිණීමට සමත්ව සිටියි.
ගුවන් හමුදාවේ උසස්වීමක්
පොදුරාජ්ය මණ්ඩලීය ක්රීඩා උලෙළේදී රන් පදක්කමක් දිනා ශ්රී ලංකාවට ගෞරවයක් අත්කරදීම හේතුවෙන් රුමේෂ් තරංග කෝප්රල් නිලයේ සිට සැරයන් නිලය දක්වා උසස් කිරීමට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා පියවර ගෙන ඇත.
එයට අමතරව රුමේෂ් වෙත විශේෂ මූල්ය ත්යාගයක් පිරිනැමීමටද ගුවන් හමුදාපතිවරයා කටයුතු කර ඇති අතර මෙම ජයග්රහණය පිටුපස සිටි ඔහුගේ පුහුණුකරු වන ටෝනි ප්රසන්න මහතාගේ හා භෞතික විකිත්ස කෝප්රල් වන්දිම ගුරුසිංහගේ සේවය ඇගයීමට ලක් කරමින් ඔවුන් වෙතද මුදල් ත්යාග පිරිනැමීම ඊයේ (5) ගුවන් හමුදා මූලස්ථානයේදි සිදු කෙරිණි.
Comments
Moderated before publishing. Your email stays private.