Swipe left or right to navigate stories
රුමේෂ් තරංග මීටර් 88.55 ක දක්ෂතාවක් සමග ආසියානු රන් පදක්කම දිනාගනී

රුමේෂ් තරංග මීටර් 88.55 ක දක්ෂතාවක් සමග ආසියානු රන් පදක්කම දිනාගනී

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ අද (28) පැවැති හෙල්ල විසිකිරීමේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකාව රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා පදක්කම් සටහනේ 24 වැනි ස්ථානයේ පසුවේ.

මුල් උත්සාහයන් 3 නිමාවට පත්වන විට තෙවැනි ස්ථානයේ පසුවූ තරංග, එම ඉසව්වේ පෙරමුණට පැමිණියේ සිවුවැනි උත්සාහයේදී මීටර් 88.33 ක දක්ෂතාවක් දක්වමනි. පස්වැනි උත්සාහය අසාර්ථක වුවද, අවසන් උත්සාහයේදී මීටර් 88.55 ක දක්ෂතාවක් සක්වමින් සිය පළමු ආසියානු රන් පදක්කම් දිනාගැනීමට ඔහු සමත් විය.

මේ වන විට ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගතකිරීම්හි ‍පෙරමුණේ පසුවන තරංග, මෙම තරගාවලියට පෙර ඩයමන්ඩ් ලීග් ශූරතාව සහ පොදු රාජ්‍ය මණ්ඩලීය රන් පදක්කමක්ද දිනාගෙන කැපී පෙනෙන දස්කම් දක්වමින් සිටියේය.

1958 වසරේ ටෝකියෝ නුවරදී පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේදී උස පැනීමේ ඉසව්වෙන් නාගලිංගම් එදිරිවීරසිංහම් දිනාගත් රන් පදක්කමට පසුව ආසියානු ක්‍රීඩා උළෙලෙක මලල ක්‍රීඩා පිටිය ඉසව්වකදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමි වූ පළමු අවස්ථාව මෙය විය.

ක්‍රීඩකයන් 14 දෙ‍නෙක් සහභාගි වූ මෙම ඉසව්වේදී ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනෙක් වන යෂ්වීර් සිං මීටර් 85.72 ක දක්ෂතාවක් සමග එම ඉසව්වේ රිදී පදක්කමත්, රෝහිත් යාදව් මීටර් 84.35 ක දක්ෂතාවක් දක්වමින් ලෝකඩ පදක්කමත් හිමිකර ගත්හ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem