Swipe left or right to navigate stories
රුමේෂ් තරංග ජාතික හෙල්ල විසිකිරීමේ වාර්තාව අලුත් කරයි

රුමේෂ් තරංග ජාතික හෙල්ල විසිකිරීමේ වාර්තාව අලුත් කරයි

ඉතාලියේ රෝම නුවරදී පැවැති 'වන්ඩා ඩයමන්ඩ් ලීග්' තරගාවලියේදී මීටර් 92.62 ක දක්ෂතාවක් දුරක් හෙල්ල විසිකරමින් ලොව ප්‍රබලතම ක්‍රීඩකයන් අභිබවා පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ඊයේ (4) රාත්‍රීයේ සමත් විය.

මෙය රෝම ඩයමන්ඩ් ලීගයේ නව තරගාවලි වාර්තාවක් ලෙස සටහන් වූ අතර මෙම දක්ෂතාවත් සමග රුමේෂ් යළිත් වරක් හෙල්ල විසිකිරීමේ ජාතික වාර්තාව අලුත් කිරීමටද සමත් විය. පසුගිය මාර්තු මාසයේදී දියගම පැවැති තරගවලියකදී ඔහු, මීටර් 89.37 දුරක් හෙල්ල විසිකරමින් ජාතික වාර්තාව පිහිටුවා තිබිණ.

මෙම විසිකිරීම මෙම වසර (2026) තුළ මේ දක්වා ලොව ඕනෑම ක්‍රීඩකයකු දැක්වූ ඉහළම දක්ෂතාව වන අතර එදා මෙදා තුර ආසියානු හෙල්ල විසිකිරීමේ ඉතිහාසයේ ක්‍රීඩකයකු දැක්වූ දෙවැනි ඉහළම දක්ෂතාවද විය.



ශ්‍රේණිගත කිරීම්හි ඉහළට පැමිණීම

රුමේෂ් හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි පස්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වූයේ මොරොක්කෝවේ රබාත් නුවරදී පැවැති රබාත් ඩයමන්ඩ් ලීග් තරගාවලියෙන් අනතුරුවය.

ලෝක මලල ක්‍රීඩා සංගමය ඉකුත් බදාදා (3) නිකුත් කර තිබූ නවතම ශේණිගත කිරීම්වලට අනුව ඔහු මෙම සුවිශේෂී දක්ෂතාවය සපුරා තිබිණ.

රබාත් ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී මීටර් 85.97 ක දක්ෂතාවක් දැක්වීමට සමත් වූ 23 හැවිරිදි තරංග, එම තරගාවලියේ 2 වැනි ස්ථානයට පත් විය. එහිදී ඔහු දෙවැනි වූයේ දෙවතාවක්ම ලෝක ශූරතාව දිනූ සහ 2024 ඔලිම්පික් ලෝකඩ පදක්කම්ලාභී ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පීටර්ස්ට පමණි.



ඩයමන්ඩ් ලීග් තරගාවලිය

ඩයමන්ඩ් ලීග් යනු ලෝක ශූරතාවලිය සහ ඔලිම්පික් උළෙල හැරුණු විට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ පැවැත්වෙන ඉහළම මට්ටමේ තරගාවලිය වන අතර මේ සඳහා සහභාගී විය හැක්කේ විශේෂ ආරාධනාවලින් පමණි.

සෑම ඩයමන්ඩ් ලීග් තරඟාවලියක්ම ස්වාධීන තරගයක් ලෙස පැවැත්වෙන නමුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබාගන්නා ස්ථාන අනුව සමස්ත තරග වාරය පුරා ඔවුන්ට ප්‍රසාද ලකුණු එකතු වේ.

සෑම ඉසව්වකින්ම ඉහළම දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබන අතර එහිදී සමස්ත තරගාවලි මාලාවේම ශූරයා කවුදැයි තීරණය කෙරෙනු ඇත.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem