Swipe left or right to navigate stories
රුපියල් මිලියන 1200 ක අතිනවීන ‘කැත් ලැබ්’ 4 ක් රජයේ රෝහල් පද්ධතියට

රුපියල් මිලියන 1200 ක අතිනවීන ‘කැත් ලැබ්’ 4 ක් රජයේ රෝහල් පද්ධතියට

මෙරට හෘද සහ රුධිර නාල පද්ධති සම්බන්ධ රෝග ප්‍රතිකාර ක්ෂේත්‍රයේ සුවිශේෂී ඉදිරි පියවරක් සනිටුහන් කරමින්, ඉදිරි සතිය තුළ මෙරට රජයේ රෝහල් පද්ධතියට අතිනවීන කැත් රසායනාගාර ඒකක 4 ක් එක් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් මත හෘද රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සඳහා වන ප්‍රවේශය තවත් පුළුල් කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම නව රසායනාගාර ස්ථාපිත කිරීමට පියවර ගනු ලැබ ඇත.

මෙහි එක් කැත් රසායනාගාර ඒකකයක වටිනාකම රුපියල් මිලියන 300 ක් වන අතර යන්ත්‍ර 4 සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 1200 කි.



රෝහල්වලට බෙදී යන ආකාරය

  • ජුනි මස 27 වැනිදා : යාපනය ශික්ෂණ රෝහලට
  • ජුනි මස 30 වැනිදා : කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට
  • ජූලි මස 2 වැනිදා : කොළඹ ජාතික රෝහලට (කැත් රසායනාගාර 2 ක්)



අතිනවීන තාක්ෂණය

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙලෙස ස්ථාපනය කරනු ලබන්නේ ලොව අතිනවීන ‘Canon Alphenix Core+ Evolve Edition’ හෘද කැතීටකරණ පද්ධතීන්ය.

AI තාක්ෂණය, අවම විකිරණ අවදානම, ඩී.ඩී.එස්. තාක්ෂණය සහ විශාල වීඩියෝ තිර පද්ධතිය මෙම යන්ත්‍ර සතු සුවිශේෂී තාක්ෂණික වාසි කිහිපයකි.

කෘත්‍රිම බුද්ධිය (AI) මත පදනම් වූ තත්කාලීන රූපකරණ තාක්ෂණය නිසා වෛද්‍යවරුන්ට වඩාත් පැහැදිලි දර්ශන ලබාගත හැකිය.

ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් රූප ලබා දෙන අතරම රෝගියාට සහ අවට පටකවලට නිරාවරණය වන අනවශ්‍ය විකිරණ මාත්‍රාව සැලකිය යුතු ලෙස පාලනය කරයි.

සජීවී ත්‍රිමාණ ස්ටෙන්ට් දෘශ්‍යකරණ තාක්ෂණය (ඩී.ඩී.එස්.) මගින් අතිරේක රූපගත කිරීම්වලින් තොරව ස්ටෙන්ට් ව්‍යුහයන් ඉතා පැහැදිලිව ප්‍රදර්ශනය කරයි.

විවිධ වෛද්‍ය රූපකරණ මූලාශ්‍ර කිහිපයක තොරතුරු එකම විශාල මොනිටරයක් මත ප්‍රදර්ශනය කළ හැකි නිසා වෛද්‍ය කණ්ඩායමට වේගවත් හා නිවැරදි තීරණ ගැනීමට සහාය වේ.



රෝගීන්ට ලැබෙන සහනය

මෙම නවීන කැතීටකරණ පද්ධති මගින් විවෘත හෘද ශල්‍යකර්මවල අවශ්‍යතාව අවම කරමින් රෝගීන්ට වේගවත්, ආරක්ෂිත මෙන්ම අවම ශල්‍ය මැදිහත්වීමක් සහිත ප්‍රතිකාර ලබා දීමට හැකියාව ලැබේ.

විශේෂයෙන්ම හෘද ධමනි අවහිරතා ඉවත් කිරීමේ ඇන්ජියෝප්ලාස්ටි ප්‍රතිකාර, ස්ටෙන්ට් තැන්පත් කිරීම, හෘද කපාට ආශ්‍රිත මැදිහත්වීම් සහ හෘද රිද්ම අසාමාන්‍යතා සඳහා කෙරෙන ජීවිතාරක්ෂක ප්‍රතිකාර රැසක් මින් ඉදිරියට වඩාත් කඩිනමින් සිදු කළ හැකිය.

මෙම ඒකක 4 රෝහල් පද්ධතියට එක්වීමත් සමග මෙරට හෘද රෝගී ප්‍රතිකාර සඳහා පවතින දිගු පොරොත්තු ලේඛන සැලකිය යුතු ලෙස අවම කරමින් කාර්යක්ෂම සේවාවක් මහජනතාවට ලබා දීමට හැකි වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem