Swipe left or right to navigate stories
රබාත් ඩයමන්ඩ් ලීගයේදී රුමේෂ් තරංග දෙවැනි තැනට

රබාත් ඩයමන්ඩ් ලීගයේදී රුමේෂ් තරංග දෙවැනි තැනට

මොරොක්කෝවේදී පැවැති රබාත් ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසිකිරීමේ පිරිමි ඉසව්වේදී දෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ඊයේ (31) සමත් විය. ඒ අනුව 2026 තරග වාරය තුළ ලබාගත් කැපී පෙනෙන ආරම්භය තවදුරටත් ඉදිරියට ගෙන යාමට ඔහුට හැකි විය.

ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම්වල හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් දැනට සත්වැනි ස්ථානයේ පසුවන තරංග, මෙහිදී දෙවැනි වූයේ දෙවතාවක්ම ලෝක ශූරතාව දිනූ සහ 2024 ඔලිම්පික් ලෝකඩ පදක්කම්ලාභී ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පීටර්ස්ට පමණි.

තරගයේ පළමු වටයේදීම මීටර් 85.97 ක දක්ෂතාවයක් දැක්වීමට තරංග සමත් වූ අතර සිව්වැනි වටය දක්වාම පෙරමුණ රැක ගැනීමටද ඔහුට හැකි විය. කෙසේ වුවත් සිව්වැනි වටයේදී මීටර් 86.08 ක දක්ෂතාවයක් දක්වමින් පීටර්ස් පෙරමුණට පැමිණියේය.



තරංගගේ සීඝ්‍ර දියුණුව

මෙම තරග වාරයේදී තරංග ඉතා ශීඝ්‍ර දියුණුවක් පෙන්වා ඇති අතර පසුගිය මාර්තු මාසයේදී දියගම පැවැති තරගවලියකදී මීටර් 89.37 ක දක්ෂතාවයක් දක්වමින් පිරිමි හෙල්ල විසිකිරීමේ නව ජාතික වාර්තාවක් පිහිටුවීමටද ඔහු සමත් විය.
මෙම වසර තුළදී ලොව කිසිදු ක්‍රීඩකයෙකු මෙතෙක් එම දුර ප්‍රමාණය පසුකර ගොස් නොමැත.

එළබෙන බ්‍රහස්පතින්දා (4) පැවැත්වෙන රෝම ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී තරංග යළිත් තරග බිමට පිවිසීමට සූදානමින් සිටින අතර එහිදී ඔහුට නැවත වරක් පීටර්ස් සමග තරග වැදීමට සිදුවනු ඇත.



ඩයමන්ඩ් ලීග් තරගාවලිය

ඩයමන්ඩ් ලීග් යනු ලෝක ශූරතාවලිය සහ ඔලිම්පික් උළෙල හැරුණු විට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ පැවැත්වෙන ඉහළම මට්ටමේ තරගාවලිය වන අතර මේ සඳහා සහභාගී විය හැක්කේ විශේෂ ආරාධනාවලින් පමණි.

සෑම ඩයමන්ඩ් ලීග් තරඟාවලියක්ම ස්වාධීන තරගයක් ලෙස පැවැත්වෙන නමුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබාගන්නා ස්ථාන අනුව සමස්ත තරග වාරය පුරා ඔවුන්ට ප්‍රසාද ලකුණු එකතු වේ.

සෑම ඉසව්වකින්ම ඉහළම දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබන අතර එහිදී සමස්ත තරගාවලි මාලාවේම ශූරයා කවුදැයි තීරණය කෙරෙනු ඇත.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem