Swipe left or right to navigate stories
රනිල්ට එරෙහි නඩුව සැප්තැම්බර් 30 දක්වා කල් යයි

රනිල්ට එරෙහි නඩුව සැප්තැම්බර් 30 දක්වා කල් යයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුර කාලය තුළ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා එංගලන්තයේ ලන්ඩන් නුවර සිදුකළ පෞද්ගලික සංචාරයකින් රජයට රුපියල් කෝටි එකහමාරකට අධික පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළ සියලු විමර්ශන කටයුතු අවසන් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (08) අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විමර්ශන නිලධාරීන් මේ බව කියා සිටියේය. ඒ අනුව සිද්ධියට අදාළ විමර්ශන ගොනු මේ වන විට නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීම සඳහා යොමු කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතාද අධිකරණයට පැමිණ සිටි අයුරු දක්නට ලැබිණ.



නීතිපති පාර්ශවයේ ප්‍රකාශය

නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ නීතිඥ සමධරි පියසේන මහත්මිය අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව කරුණු දක්වමින් මෙසේ පැවසුවාය.

"ස්වාමීනී, මෙම සිද්ධියට අදාළව සියලු විමර්ශන අවසන් බව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 123(3) වගන්තිය ප්‍රකාරව අධිකරණයට දන්වා සිටිනවා. මෙම සිද්ධියට අදාළව මේ වන විට නීතිපතිතුමා වෙත උදෘත ගොනු කර තිබෙනවා. ඒ අනුව නීතිපති උපදෙස් ප්‍රකාශයට පත් කිරීම සඳහා නඩුව කැඳවීමට දිනයක් අධිකරණයෙන් ඉල්ලා සිටිනවා."



විත්ති පාර්ශවයේ කරුණු දැක්වීම

මෙහිදී පළමු සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කරුණු දක්වමින් කියා සිටියේ මෙම සංචාරයේදී වියදම් වූ බව කියන මුදලින් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් වැය වී ඇත්තේ වාහන සඳහා බවය.

එමෙන්ම සිය සේවාදායකයා වෙනුවෙන් බ්‍රිතාන්‍ය රජය විසින් එම වාහන සඳහා ගිය වියදම් දරා ඇති බවත්, ඒ බව සනාථ කරන නිල ලේඛනයක් ඉදිරියේදී පැමිණිලිකාර පාර්ශවය වෙත ලබා දීමට කටයුතු කරන බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.



සැකකරුවන් ඇප මත

මෙම මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර ඔවුන් දෙදෙනාම මේ වන විට අධිකරණය මඟින් ඇප මත මුදාහැර සිටිති.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා, නීතිපති උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව මෙම නඩුව නැවත කැඳවීම එළඹෙන සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළේය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem