ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්තවලට අනුව, මේ වසරේ ශ්රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයන ආදායම ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කර ඇත.
ශ්රී ලංකාව 2026 වසරේ පළමු මාස හතර තුළ ඇමරිකානු ඩොලර් බිලියන 5.7ක ආදායමක් උපයා ඇති අතර, එය 2024 වසරේ එම කාලසීමාව තුළ උපයා ඇති ඩොලර් බිලියන 5.16 සහ 2025 ජනවාරි සිට අප්රේල් දක්වා උපයා ඇති ඩොලර් බිලියන 5.54ක ආදායමට වඩා වැඩි වීමකි.
මෙය 2024 සහ 2026 වසරවල පළමු මාස හතර අතර කාලය සලකා බැලීමේදී 11.94% ක වර්ධනයකි.
ප්රධාන ක්ෂේත්ර
ඇඟලුම් සහ රෙදිපිළි ක්ෂේත්රයේ ආදායම පෙර වසරට සාපේක්ෂව පහත වැටීමක් පෙන්නුම් කළද, ශ්රී ලංකාවේ ප්රධානතම අපනයන භාණ්ඩය ලෙස එහි ස්ථානය තවදුරටත් රැක ගැනීමට සමත්ව ඇත.
- ඇඟලුම් සහ රෙදිපිළි - ඇ.ඩො. මිලියන 1,618.63
- ප්රවාහන හා සැපයුම් සේවා - ඇ.ඩො. මිලියන 614.36
- තොරතුරු තාක්ෂණ / ව්යාපාරික ක්රියාවලි කළමනාකරණ - ඇ.ඩො. මිලියන 581.70
- තේ - ඇ.ඩො. මිලියන 451.58
- ඛනිජ තෙල් නිෂ්පාදන - ඇ.ඩො. මිලියන 438.63
- පොල් ආශ්රිත නිෂ්පාදන - ඇ.ඩො. මිලියන 406.28
- රබර් ආශ්රිත නිෂ්පාදන - ඇ.ඩො. මිලියන 313.22
ප්රධාන අපනයන වෙළඳපොළවල්
ශ්රී ලංකාවේ අපනයන භාණ්ඩ හා සේවා සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 945.76 ක් වැය කරමින්, ඇමරිකා එක්සත් ජනපදය විශාලතම ගැනුම්කරු බවට පත්ව ඇත.
ඉන්දියාව (ඇ.ඩො. මිලියන 364.15) ශ්රී ලංකාවේ දෙවැනි විශාලතම අපනයන වෙළඳපොළ වන අතර, එක්සත් රාජධානිය (ඇ.ඩො. මිලියන 298.13), ඉතාලිය (ඇ.ඩො. මිලියන 222.74) සහ ජර්මනිය (ඇ.ඩො. මිලියන 215.63) පිළිවෙළින් මුල් ස්ථාන පහ සම්පූර්ණ කරයි.
ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ශ්රී ලංකාව සාම්ප්රදායික කෘෂිකාර්මික අපනයන රටාවෙන් මිදී, දැනුම පදනම් කරගත් තාක්ෂණික සේවා සපයන අපනයන ආර්ථිකයක් වෙත වේගයෙන් ගමන් කරමින් සිටින බව මෙයින් පැහැදිලිවම පෙන්නුම් කරන බවය.
Comments
Moderated before publishing. Your email stays private.