යාල ජාතික වනෝද්යානය තුළ සිදුකළ විශේෂ වනජීවී මෙහෙයුමක් අතරතුර දඩයම්කරුවන් සහ වනජීවී නිලධාරීන් අතර ප්රබල වෙඩි හුවමාරුවක් සිදුව තිබේ.
සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු රෝහල්ගත කර ඇති බව ලුණුගම්වෙහෙර පොලීසිය පවසයි.
තණමල්විල යාල ජාතික වනෝද්යාන මූලස්ථාන කාර්යාලයට අනුයුක්ත වනජීවී නිලධාරීන් පිරිසක් විසින් රක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.
වෙඩි ප්රහාරය
වනෝද්යානය තුළ සතුන් දඩයම් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීන් උත්සාහ කිරීමේදී, දඩයම්කරුවන් විසින් නිලධාරීන් වෙත ප්රහාරයක් එල්ල කර තිබේ. ඊට ප්රතිචාර වශයෙන් වනජීවී නිලධාරීන්ද ආත්මාරක්ෂාව උදෙසා නැවත වෙඩි තබා ඇත.
එහිදී සැකකරුවන් දෙදෙනෙකු පලාගොස් ඇති අතර තිස්සමහාරාම ඇල්ලගල වම් ඉවුර ප්රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු වනජීවී නිලධාරීන් විසින් එම ස්ථානයේදීම අත්අඩංගුවට ගන්නා ලදී.
සැකකරු සතුව තිබී මුවන් දෙදෙනෙකුගේ මස් කිලෝග්රෑම් 41 ක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක්ද වනජීවී නිලධාරීන් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් අදාළ සැකකරු තිස්සමහාරාම මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.
තුවාලකරු රෝහලට
පලාගිය සැකකරුවන් සොයා විමර්ශන ක්රියාත්මක වන අතරතුර ලුණුගම්වෙහෙර ජලාශයේ ඉහළ කොටසේ වනෝද්යානය තුළදී වනජීවී නිලධාරීන් රැක සිට වෙඩි තැබූ බව පවසමින් තුවාල ලැබූ පුද්ගලයෙකු දෙබරවැව මූලික රෝහලට ඇතුළත්ව ඇති බව රෝහල් පොලීසිය විසින් ලුණුගම්වෙහෙර පොලීසියට දැනුම් දී ඇත.
වෙඩි වැදීමෙන් අදාළ පුද්ගලයාගේ දකුණු පස පිට ප්රදේශයට සහ දකුණු උරහිසට පහළ ප්රදේශයට තුවාල සිදුව ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙසේ රෝහල්ගතව ඇත්තේ තිස්සමහාරාම ප්රදේශයේ පදිංචි 44 හැවිරිදි ගව පාලකයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර පලාගිය අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වනජීවී නිලධාරීන් සමඟ ඒකාබද්ධව පුළුල් මෙහෙයුමක් ක්රියාත්මක කර තිබේ.
Comments
Moderated before publishing. Your email stays private.