මෙම වසරේ (2026) මේ දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 89,639 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. එමෙන්ම එම කාලසීමාව තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදුවූ මරණ සංඛ්යාව 65 දක්වා ඉහළ ගොස් ඇති බවද සෞඛ්ය අංශ පෙන්වා දෙයි.
මාසික දත්ත විශ්ලේෂණයට අනුව වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්යාවක් වාර්තා වී ඇත්තේ ඉකුත් ජූලි මාසයේදී වන අතර එම සංඛ්යාව 29,973කි. ඊට අමතරව ජූනි මාසයේදී 21,533ක්, මැයි මාසයේදී 8,590ක්, ජනවාරි මාසයේදී 7,866ක්, මාර්තු මාසයේදී 6,013ක්, පෙබරවාරි මාසයේදී 5,721ක් සහ අප්රේල් මාසයේදී 5,651ක් ලෙස රෝගීන් හඳුනාගෙන තිබිණි.
මේ අතර අගෝස්තු මාසයේ මුල් දින 9 තුළ පමණක් ඩෙංගු රෝගීන් 4,292 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
වැඩිම බලපෑම බස්නාහිරට
පළාත් මට්ටමින් සැලකීමේදී වැඩිම ඩෙංගු බලපෑමක් එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතට වන අතර සමස්ත රෝගීන්ගෙන් 52.93% ක් එනම් රෝගීන් 47,445 දෙනෙකු එම පළාතෙන් වාර්තා වේ.
ඊට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 13,302 ක්ද, මධ්යම පළාතෙන් රෝගීන් 7,971 ක්ද, සබරගමුව පළාතෙන් රෝගීන් 7,383 ක්ද, වයඹ පළාතෙන් රෝගීන් 4,465 ක්ද, නැගෙනහිර පළාතෙන් රෝගීන් 3,703 ක්ද, ඌව පළාතෙන් රෝගීන් 2,482 ක්ද, උතුරු මැද පළාතෙන් රෝගීන් 1,574 ක්ද, උතුරු පළාතෙන් රෝගීන් 1,314 ක්ද වාර්තා වී ඇත.
ගම්පහ පළමු තැනට
දිස්ත්රික් මට්ටමින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්රික්කයෙන් වන අතර එය සමස්ත රෝගීන්ගෙන් 21.27% ක ප්රතිශතයකි.
ඊට අමතරව කොළඹ දිස්ත්රික්කයෙන් රෝගීන් 17,765ක්, මහනුවරින් 6,366ක්, මාතරින් 5,953ක්, කළුතරින් 5,841ක්, ගාල්ලෙන් 4,936ක් සහ රත්නපුරයෙන් රෝගීන් 4,860ක් වාර්තා වී තිබේ. කොළඹ මහා නගර සභා බලප්රදේශයෙන් පමණක් ඩෙංගු රෝගීන් 3,613 දෙනෙකු හඳුනාගෙන ඇත.
මෙම වසරේ මේ දක්වා ඩෙංගු මරණ අනුපාතය සියයට 0.07ක් ලෙස සටහන් වන අතර පවතින තත්ත්වය හමුවේ දිවයින පුරා අධි අවදානම් සහිත සෞඛ්ය වෛද්ය නිලධාරී කොට්ඨාස 119ක් හඳුනාගැනීමට සෞඛ්ය අංශ කටයුතු කර තිබේ.
Comments
Moderated before publishing. Your email stays private.