මත්ද්රව්ය ජාවාරම්වලට සම්බන්ධ රැඳවියන් පිරිසක් විසින් මීගමුව බන්ධනාගාරය තුළ ඇති කළ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් එහි ගොඩනැගිලි සහ දේපලවලට රුපියල් කෝටි 10 කට අධික දැවැන්ත විනාශයක් සිදුව ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
පවතින තත්ත්වය මත මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් විශාල පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත තාවකාලිකව මාරු කර යවා ඇති අතර බන්ධනාගාරය යළි යථාත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විටත් කඩිනමින් ක්රියාත්මක වෙමින් පවතී.
බන්ධනාගාර තදබදය අවම කිරීම
දිවයින පුරා බන්ධනාගාරවල පවතින අධික තදබදයට පිළියම් යෙදීම සහ රැඳවියන්ගේ සුබසාධනය වෙනුවෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂණ නානායක්කාර මහතාගේ උපදෙස් මත වත්මන් රජය කඩිනම් ව්යාපෘති රැසක් දියත් කර තිබේ.
ඒ් යටතේ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර මෙන්ම කෑගල්ල පරගම්මන කර්මාන්ත ගබඩාවද තාවකාලික බන්ධනාගාර බවට පත් කිරීමට පියවර ගනිමින් පවතී.
ඊට අමතරව පල්ලනසේන බන්ධනාගාරයේ අලුතින් ඉදිකළ දෙමහල් ගොඩනැගිලි හතරක රැඳවියන් පදිංචි කර ඇති අතර වැලිකඩ මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරවල තාවකාලික ගොඩනැගිලි ඉදිකිරීම්ද අවසන් අදියරේ පවතී.
වටරැක බන්ධනාගාරයේ රුපියල් මිලියන 446.9 ක පිරිවැයකින් ගොඩනැගිලි 2ක් ඉදිකරන අතර 2026 වසරේදී ඇරඹි එම ව්යාපෘතිය 2027 වසරේදී නිම කිරීමට නියමිතය. ලබන වසරේ එහි දෙවැනි අදියරද ආරම්භ වේ.
කළුතර, පල්ලේකැලේ සහ මාතර බන්ධනාගාරවලද නව ඉදිකිරීම් සිදුවන අතර කොළඹ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑව ප්රදේශයට විතැන් කිරීම සඳහා වන සැලසුම් සහ ඇස්තමේන්තු මේ වන විට සකස් කරමින් පවතී.
Comments
Moderated before publishing. Your email stays private.