මහා භාණ්ඩාගාරය හරහා ණය වාරිකයක් ගෙවීමේදී ශ්රී ලංකා මහ බැංකුව සතු ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්රගතිය ලබන ජූලි මස 8 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය ඊයේ (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
මෙම නඩුව කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.
කිසිදු විමසීමකින් තොරව සිදුකළ ගෙවීමක්
එහිදී විමර්ශනවල ප්රගතිය අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ, අදාළ ණය ගෙවීම් කටයුතු සිදුකළ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මුල් ගිවිසුම පිළිබඳ කිසිදු කරුණු විමසීමක් හෝ තොරතුරු සෙවීමක් සිදුකර නොමැති බවය.
ඔවුන් හුදෙක් ‘එක්ස්පෝට් ෆයිනෑන්ස් ඕස්ට්රේලියා’ නමැති ආයතනයේ ඊ-මේල් ලිපිනය හරහා ලැබී තිබූ ඉන්වොයිසියක් මත පමණක් පදනම්ව මෙම ණය ගෙවීම් කටයුතු සිදුකර ඇති බවද පොලීසිය අධිකරණය හමුවේ අනාවරණය කළේය.
දත්ත පරීක්ෂාව වෝහාරික පරිගණක අංශයට
අදාළ මුදල් ගෙවීම් සිදුකළ ඉන්ටර්නෙට් සර්වර් පද්ධතියේ දත්ත පිටපත් කර අවසන් බව එහිදී විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.
එම දත්ත ඇතුළත් සංයුක්ත තැටි 4 ක් ඉදිරි විමර්ශන සඳහා කොළඹ විශ්වවිද්යාලයේ වෝහාරික පරිගණක අංශය වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවශ්ය නියෝග නිකුත් කරන ලෙසද ඔවුහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
විමර්ශන නිලධාරීන්ගේ එම ඉල්ලීමට මහේස්ත්රාත්වරයාගේ අනුමැතිය හිමිවිය.
ප්රකාශ සටහන් කරගැනීම
මෙම මහා පරිමාණ මූල්ය වංචාව සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 42 දෙදෙනෙකුගෙන් ප්රකාශ සටහන් කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේය.
එමෙන්ම සේවය අත්හිටුවා සිටියදී මියගිය විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ මරණ පරීක්ෂණ වාර්තාවේ පිටපතක්ද විමර්ශන නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
මෙම විමර්ශනවල ප්රගතිය ඉදිරි දිනයේදී දැනුම් දීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙකුද ඉදිරිපත් වීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් ප්රකාශ කළේය. සියලු කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා නඩුව යළි ජූලි මස 8 වැනිදා කැඳවීමට නියෝග කළේය.
Comments
Moderated before publishing. Your email stays private.