2027 මූල්‍ය වර්ෂය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනා මඟින් පෞද්ගලික ආදායම් බදු ගෙවන වෘත්තිකයන් සහ වැටුප් ලබන්නන් හට සුවිශේෂී බදු සහනයක් ලබාදීමට රජය පියවර ගෙන තිබේ.
ඒ අනුව මෙතෙක් රුපියල් 150,000ක්ව පැවති මාසික පුද්ගලික ආදායම් බදු නිදහස් සීමාව රුපියල් 162,500ක් දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇති අතර එමඟින් වාර්ෂික බදු නිදහස් ආදායම් සීමාව රුපියල් මිලියන 1.95ක් දක්වා ඉහළ යනු ඇත.
මේ අනුව මාසික වැටුප සහ දීමනා රුපියල් 162,500ක් හෝ ඊට අඩු සියලුම පුද්ගලයින් ආදායම් බදු ගෙවීමෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වේ.
12% නව බදු කාණ්ඩයක් සමඟ බදු පරාසයන් පුළුල් කෙරේ
නව බදු සංශෝධන යටතේ බදු අයකිරීමේ කාණ්ඩ වඩාත් සාධාරණ ලෙස පුළුල් කරමින් අතරමැදි බදු පන්තිවලට විශාල සහනයක් සලසා දී ඇත.
බදු නිදහස් සීමාව වන රුපියල් 162,500න් පසුව උපයන ඊළඟ රුපියල් 70,833ක මාසික ආදායම සඳහා 6%ක මූලික බදු අනුපාතය අදාළ වන අතර ඉන් ඉදිරියට පවතින බදු කාණ්ඩ රුපියල් 41,667 සිට රුපියල් 50,000 දක්වා පුළුල් කර තිබේ.
තවද මෙතෙක් 6% බදු කාණ්ඩයෙන් පසුව එකවරම 18% දක්වා ඉහළ ගිය බදු අනුපාතය වෙනුවට, 6%ට වහාම පසුව 12%ක නව බදු කාණ්ඩයක් හඳුන්වා දීමටද රජය පියවර ගෙන ඇත. ඒ අනුව නව ප්රගතිශීලී බදු අනුපාත 6%, 12%, 18%, 24%, 30% සහ 36% ලෙස ක්‍රියාත්මක වනු ඇත.
මාසිකව රුපියල් 36,250ක් දක්වා සමස්ත බදු ඉතිරියක්
මෙම නව සංශෝධන හේතුවෙන් උපරිම බදු අනුපාතය වන 36% අදාළ වන මාසික ආදායම් සීමාවද රුපියල් 358,000 සිට රුපියල් 433,000 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ හරහා තනි බදු ගෙවන්නෙකුට අලුතින් රුපියල් 750ත් රුපියල් 15,750ත් අතර අමතර මාසික මුදල් සහනයක් හිමිවන බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.
එමෙන්ම 2025 වසරේදී ලබාදුන් බදු සහන සමඟ සංසන්දනය කර ඒකාබද්ධව බැලූ විට, රජයේ බදු ප්‍රතිසංස්කරණ යටතේ පුද්ගලික බදු ගෙවන්නන් හට හිමිවන සමස්ත මාසික බදු ඉතිරිය අවම වශයෙන් රුපියල් 4,250ක සිට උපරිම වශයෙන් රුපියල් 36,250ක් දක්වා ඉහළ අගයක පවතිනු ඇත.
Comments
Moderated before publishing. Your email stays private.