මහනුවර ප්රධාන නගර හතරක් යා කරමින් ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ සැහැල්ලු දුම්රිය ව්යාපෘතිය ක්රියාත්මක කිරීමට රජයේ බලාපොරොත්තුවක් නොමැති බව ප්රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්රී අනුරාධ ජයරත්න මහතා විසින් මහනුවර නගරයේ රථවාහන තදබදයට විසඳුමක් ලෙස යෝජනා වී තිබූ මෙම සැහැල්ලු දුම්රිය ව්යාපෘතියේ වත්මන් තත්ත්වය පිළිබඳව විමසූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්ය බිමල් රත්නායක මහතා කියා සිටියේ මෙවැනි සැහැල්ලු දුම්රිය ව්යාපෘති සඳහා අධික පිරිවැයක් වැය වන බවය. එම නිසා පවතින ආර්ථික තත්ත්වයන් හා ප්රමුඛතාවයන් සැලකිල්ලට ගෙන ඊට වඩා අඩු පිරිවැයකින් විශාල ජනතාවකට සේවය සැලසිය හැකි 'මෙට්රෝ බස්' වැනි පහසුකම් සහිත ප්රවාහන ක්රමවේදයක් මහනුවර ඇතුළු ප්රධාන නගර සඳහා හඳුන්වා දීමට රජය අපේක්ෂා කරන බව ඔහු පැවසීය.
විකල්ප ව්යාපෘති
මහනුවර නගරයේ පවතින දැඩි වාහන තදබදයට කඩිනම් විසඳුම් ලෙස මේ වන විටත් විකල්ප ව්යාපෘති රැසක් සැලසුම් කර ඇති බවද අමාත්යවරයා එහිදී සඳහන් කළේය.
ඒ අනුව පේරාදෙණිය පාලම අසල ගුවන් පාලම් දෙකක් ඉදිකිරීම, මහයියාව උමං මාර්ගය මේ වසර ඇතුළත විවෘත කිරීම, පේරාදෙණිය පැරණි පාලම ප්රතිසංස්කරණය කර දුම්රිය ධාවනය සඳහා සුදුසු පරිදි සකස් කිරීම සහ ගලගෙදර දක්වා මධ්යම අධිවේගී මාර්ගය ඉදිකර එය ඉදිරියේදී ගන්නෝරුව දක්වා සම්බන්ධ කිරීම සිදු කෙරෙනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.
පසුබිම
පළමුවෙන්ම 2019 වසරේදී කොළඹ නගරයේ පවතින දැඩි වාහන තදබදයට ස්ථිර විසඳුමක් ලෙස මාලඹේ සිට කොළඹ කොටුව දක්වා මෙම සැහැල්ලු දුම්රිය ව්යාපෘතිය ක්රියාත්මක කිරීමට යෝජනා විය.
ජපාන ජාත්යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ මූල්ය ආධාර මත කිලෝමීටර් 16ක දුරක් ආවරණය වන පරිදි කුළුණු මතින් දිවීමට සැලසුම් කර තිබූ මෙම මාර්ගය සඳහා ඩොලර් බිලියන 2.2කට අධික අතිවිශාල මුදලක් වැය වන බවට ඇස්තමේන්තු කර තිබිණ.
පසුව එම ව්යාපෘතිය වෙනුවට මහනුවර නගරයේ ප්රධාන මාර්ග හතරක් යා කරමින් සැහැල්ල දුම්රිය ව්යාපෘතියක් ක්රියාත්මක කිරීමට 2023 වසරේදී යෝජනා විය.
පළවී තිබූ අදහස්
මෙම ව්යාපෘතියේ ප්රායෝගිකභාවය සහ පිරිවැය පිළිබඳව අදහස් දක්වමින් වසන්ත සමරසිංහ මහතා මීට පෙර ප්රකාශ කර තිබුණේ, මෙම ව්යාපෘතිය ක්රියාවට නැංවුවහොත් මෙය ලෝකයේ එක පැත්තකට පමණක් ධාවනය වන පළමු සැහැල්ලු දුම්රිය මාර්ගය බවට පත්වනු ඇති බවය.
කෙසේ වෙතත් එම විවේචන සහ චෝදනා සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කරමින් හිටපු මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්යවරයකු වන පාඨලී චම්පික රණවක මහතා ප්රකාශ කර සිටියේ මෙය දෙපැත්තටම විධිමත්ව ධාවනය විය හැකි දුම්රිය පද්ධතියක් බවත්, සැලසුම් කර තිබූ පරිදි මුල් අදියරේදී සෑම විනාඩි 15කට වරක් පෙට්ටි 4 බැගින් වූ දුම්රියක් ධාවනය වීමට නියමිතව තිබූ බවත්ය.
Comments
Moderated before publishing. Your email stays private.