දීපව්යාප්තව ප්රාථමික සත්කාර සේවාව ශක්තිමත් කරමින් ජනතාවට වඩාත් සමීප සහ කාර්යක්ෂම සෞඛ්ය සේවාවක් සැලසීමේ අරමුණින් මහජන සෞඛ්ය හෙද නිලධාරීන් 72 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීම ඊයේ (31) සිදු කෙරිණි.
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන්, අමාත්යාංශයේ ජීව වෛද්ය ඉංජිනේරු අංශයේ ශ්රවණාගාරයේදී මෙම පත්වීම් ප්රදානය කෙරිණි.මොවුන් පශ්චාත් ප්රාථමික හෙද විදුහලේ වසරක විධිමත් පුහුණුව සාර්ථකව නිමකළ 4 වැනි කණ්ඩායමය.
මෙම අවස්ථාවට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා ඇතුළු අමාත්යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්ය අධ්යක්ෂ ජනරාල්වරුන් සහ හෙද අධ්යක්ෂවරුන් ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
රෝග නිවාරණයට මුල්තැන
ජනතාව රෝගී වූ පසු ප්රතිකාර ලබාදීමට පමණක් අවධානය යොමු නොකර රෝග ඇතිවීම වැළැක්වීම, සෞඛ්ය සම්පන්න ජීවන රටා ප්රවර්ධනය සහ ප්රජා මට්ටමින් සෞඛ්ය අවශ්යතා හඳුනාගැනීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණ වේ.
ඒ අනුව මෙම නවක නිලධාරීන් දීපව්යාප්ත ප්රාථමික සත්කාර ඒකක මධ්යස්ථාන සහ "ආරෝග්යා" සුවතා මධ්යස්ථාන වෙත අනුයුක්ත කිරීමට සැලසුම් කර ඇත.
5,000ක සේවා අවශ්යතාවක්
උත්සවය ඇමතූ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, මෙරට සෞඛ්ය සේවා පරිවර්තනයේ ප්රධාන නියමුවන් ලෙස මෙම නිලධාරීන් පෙන්වා දිය හැකි බවය.
දැනට මෙරට සෞඛ්ය සේවයේ මහජන සෞඛ්ය හෙද නිලධාරීන් 260ක් පමණ සේවයේ යෙදෙන අතර 5 වැනි කණ්ඩායමට තවත් 300ක් පමණ ඇතුළත් කරගැනීමට නියමිතය.
ඉදිරියේදී ප්රාථමික සෞඛ්ය සේවා ක්රියාකාරී සැලසුම සාර්ථකව පවත්වාගෙන යාම සඳහා අනාගතයේදී මහජන සෞඛ්ය හෙද නිලධාරීන් 5,000කගේ පමණ සේවා අවශ්යතාවක් පවතින බවද අමාත්යවරයා වැඩිදුරටත් පැවසීය.
Comments
Moderated before publishing. Your email stays private.