Swipe left or right to navigate stories
මධ්‍යම කඳුකරයට නායයෑම් සහ ගංවතුර අවදානමක්

මධ්‍යම කඳුකරයට නායයෑම් සහ ගංවතුර අවදානමක්

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ දිවයිනේ ප්‍රදේශ කිහිපයක හදිසි ආපදා තත්ත්වයන් හටගෙන තිබේ.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ප්‍රධාන මාර්ග කිහිපයක ගමනාගමනයට බාධා මතුව ඇති අතර මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක් සහ දිස්ත්‍රික්ක හතරක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්ද නිකුත් කර ඇත.

අධික වර්ෂාවත් සමඟ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට පස්කඳු සහ ගල්පර්වත කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව පොලීසිය පවසයි.



හැටන් - කොළඹ මාර්ගය

මෙම තත්ත්වය නිසා හැටන් සිට ගිනිගත්හේන, නාවලපිටිය, මහනුවර සහ කොළඹ දක්වා ගමන් ගන්නා රථවාහන මෙන්ම එම දිශාවන්ගෙන් හැටන් දෙසට පැමිණෙන රථවාහන සඳහාද ගමනාගමන බාධා එල්ල වී තිබේ.

මාර්ගයේ දෙපසම විශාල රථවාහන ප්‍රමාණයක් පෝලිම්වල නතර කර තැබීමට සිදුවීම හේතුවෙන් මගීහු දැඩි අසීරුතාවයට පත්ව සිටිති.

පස්කඳු ඉවත් කර මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුම් ආරම්භ කර ඇති අතර පවතින අයහපත් කාලගුණය හමුවේ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.



ගංවතුර අවදානම

ඉදිරි පැය 24 තුළ මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද (3) දහවල් 12:30 ට නිකුත් කෙරුණු මෙම විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (4) මධ්‍යම රාත්‍රී 12:30 දක්වා බලපැවැත්වේ.

ඒ අනුව මහවැලි ගඟ ද්‍රෝණියේ උඩුනුවර, උඩපළාත, යටිනුවර, ගඟඉහළ කෝරළය, පස්බාගේ කෝරළය සහ ගඟවට කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම් ප්‍රදේශ සඳහා මෙම නිවේදනය අදාළ වේ.

මහවැලි ගඟට ආසන්නව සහ පහත් බිම්වල පදිංචි මහජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී.



නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාපතනයත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක හතරක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. ඊයේ (2) රාත්‍රී 11:00 සිට අද (3) රාත්‍රී 11:00 දක්වා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර ඇත.

මෙහිදී මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ සහ ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව හා නෝර්වුඩ් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ඇතුළු ඒ අවට ප්‍රදේශ සඳහා විමසිලිමත්ව සිටින ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක සහ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසද, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, තලවකැලේ, කොත්මලේ නැගෙනහිර සහ කොත්මලේ බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසද, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ සඳහාද පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.



වාන් දොරටු විවෘත වීම

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් අද (3) අලුයම ස්වයංක්‍රීයව විවෘත වී තිබේ.

තවදුරටත් අධික වැසි ඇති වුවහොත් ජලාශයේ සෙසු වාන් දොරටුද ස්වයංක්‍රීයව විවෘත විය හැකි බැවින්, ජලාශ වේල්ලට පහලින් කොත්මලේ ඔය දෙපස පදිංචිකරුවන්ට දැඩි සැලකිල්ලෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ ඒකකය දන්වා සිටියි.

එමෙන්ම අධික වර්ෂාවත් සමඟ සෙන් ක්ලෙයාර් සහ ඩෙවෝන් දිය ඇලිවලද ජල ධාරිතාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.



නිවාස ජලයෙන් යටවීම

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (2) රාත්‍රියේ සිට ඇඳහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් ඇළ පිටාර ගැලීමෙන් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යට වී ඇත.

අදාළ නිවාසවල පදිංචිකරුවන් මේ වන විට තාවකාලිකව ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබේ.

තවදුරටත් ඇඳහැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේද රථවාහන ගමනාගමනයට බාධා මතුව ඇති අතර එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් දැඩි අවධානයෙන් සහ සෙමින් රිය ධාවනය කරන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.



පාසල් පැවැත්වීම

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මධ්‍යම පළාතේ හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපවලට අයත් සියලුම පාසල් වසා තබන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීම එම පාසල්වල විදුහල්පතිවරුන් වෙත පවරා තිබේ.

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළේ පවතින අවදානම් තත්ත්වය අනුව අදාළ විදුහල්පතිවරුන්ට ඒ පිළිබඳව සුදුසු තීරණ ගත හැකි බවයි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem