Swipe left or right to navigate stories
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පරිවාසගත දරුවන් රැකගන්න විශේෂ වැඩපිළිවෙළක්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පරිවාසගත දරුවන් රැකගන්න විශේෂ වැඩපිළිවෙළක්

මත්ද්‍රව්‍ය භාවිතය, ඊට ඇබ්බැහි වීම සහ මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් පරිවාසගත කර සිටින දරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා නුදුරේදීම විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කළාය.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ අද (14) අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාන්තා සහ ළමා අනුකමිටුව කැඳවූ අවස්ථාවේදීය.

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි කාන්තා සහ ළමා විෂය ක්ෂේත්‍රයට අදාළ ගැටලු සාකච්ඡා කිරීම සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලට සමගාමීව මෙම අනුකමිටු පිහිටුවා ඇත. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධ ක්ෂේත්‍ර නිලධාරීන් මෙන්ම අධ්‍යාපන, සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල වගකිවයුතු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම රැස්වීම් පැවැත්වේ.



නිලධාරී පුරප්පාඩු

මෙහිදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාන්තාවන් සහ ළමුන් පිළිබඳ විශේෂ සංඛ්‍යාලේඛන සහ දත්ත විමසා බැලූ අමාත්‍යවරිය, එහිදී හඳුනාගත් අඩුපාඩු මෙන්ම දත්ත මදිකම් සපුරා ගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙස නිලධාරීන්ට අවධාරණය කළාය.

එමෙන්ම දිස්ත්‍රික්කය තුළ පවතින ක්ෂේත්‍ර නිලධාරී පුරප්පාඩු පිළිබඳවද මෙහිදී සමාලෝචනය කෙරුණු අතර අමාත්‍යාංශ මට්ටමින් මැදිහත් වී එම පුරප්පාඩු කඩිනමින් පිරවීමට පියවර ගන්නා බවද ඇය සඳහන් කළාය.



නැවත සමාජගත කිරීම

දැනට පරිවාසගත කර සිටින දරුවන් අතුරින් වෘත්තීය අධ්‍යාපනයට යොමු කළ හැකි දරුවන් පිළිබඳ වාර්තාවක් සකස් කරන ලෙස අමාත්‍යවරිය උතුරු මැද පළාත් පරිවාස කොමසාරිස්වරිය වෙත නියෝග කළාය.

එමගින් රජයේ වෘත්තීය අධ්‍යාපන ආයතන සමඟ මනා සම්බන්ධීකරණයකින් යුතුව එම දරුවන් පුහුණු කර, නැවත සමාජගත කිරීමේදී ස්වාධීන පුරවැසියන් බවට පත් කිරීමට කටයුතු කරන ලෙස ඇය උපදෙස් දුන්නාය.

මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ භාග්‍ය හේරත්, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය යන මහත්වරුන් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ශ්‍රී ලංකා පොලිසිය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ උතුරු මැද පළාත් පරිවාස දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem