භික්ෂූන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
නීතිපති, අධිකරණ අමාත්යාංශය, රාජ්ය පරිපාලන අමාත්යාංශය, බෞද්ධ කටයුතු අමාත්යාංශය,
බන්ධනාගාර නිලධාරීන් සහ බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළත් වන අන්දමින් මෙම කමිටුව පත් කරන බවත්, සති දෙකක් ඇතුළත මේ පිළිබඳ අධ්යයනය කර සංශෝධන ඉදිරිපත් කිරීමට එම කමිටුවට පවරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම එහි භික්ෂූන් වහන්සේලාට බලපාන කොටස් මහා සංඝරත්නය සමග සාකච්ඡා කර අනුරූප ලෙස වෙනස් කිරීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.
නීතිය නිසි පරිදි සම්පාදනය කිරීමේ අවශ්යතාව
එසේ නොමැතිව නීති තිබියදී, තනි තනි පුද්ගලයන් වෙනුවෙන් නියෝග ලබා දීමට තමන් සූදානම් නොමැති බවත්, නීතිය වර්තමානයට උචිත නොවේනම් කළ යුත්තේ නිසි පරිදි නීතිය සම්පාදනය කරගැනීම බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්රකාශ කළේ අද (08) දහවල් ජනාධිපති කාර්යාලයේදී මහා සංඝරත්නය සමග පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
සාකච්ඡාවේ පසුබිම
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර ගිහි වස්ත්ර සහිතව අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කිරීම සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කර ඇති ලිපිය සහ මෙම සිදුවීම පාදක කරගනිමින් සමාජයේ ඇතිවී තිබෙන තත්ත්වයත්, මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා ඉදිරියේදී ගතයුතු ක්රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමත් අරමුණින් මෙම හමුව පැවැත්විණි.
සිය ආරාධනය අනුව මෙම සාකච්ඡාවට එක්වීම පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී මහා සංඝරත්නය වෙත සිය ගෞරවය පුද කර සිටියේය.
Comments
Moderated before publishing. Your email stays private.