බුලත්විට සමග දුම්කොළ අලෙවි කරන පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී දැඩිව නීතිය ක්රියාත්මක කිරීමට පියවර ගන්නා බව ශ්රී ලංකා මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා අද (17) මාධ්ය වෙත අදහස් දක්වමින් මේ බව අවධාරණය කළේය.
ඒ අනුව 2006 අංක 27 දරන දුම්කොළ සහ මධ්යසාර පිළිබඳ ජාතික අධිකාරි පනතට අනුව මෙම නීතිමය පියවර ගන්නා බව හෙතෙම කියා සිටියේය.
දුම් රහිත දුම්කොළ නිෂ්පාදන
2016 වසරේ සැප්තැම්බර් මාසයේ නිකුත් කරන ලද ගැසට් පත්රයේ පළමු උපලේඛනයට අනුව මෙරට තුළ දුම් රහිත දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව උපුල් රෝහණ මහතා පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් නීතියෙන් අවසර ලබාදී ඇත්තේ දුම් සහිත දුම්කොළ අලෙවියට පමණක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම පියවර බුලත්විට අලෙවිකරුවන් අපහසුතාවයට පත් කිරීමට ගත් තීරණයක් නොවන බවත්, මෙරට ජනතාව මුඛ පිළිකාවලින් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සම්මත කරගත් නීතියක් බවත් සභාපතිවරයා පැවසීය.
දඩයක් හෝ සිරදඬුවමක්
වාර්ෂිකව ශ්රී ලංකාවෙන් මුඛ පිළිකා රෝගීන් 1750ත් 1900ත් අතර පිරිසක් වාර්තා වන බැවින් මෙම නීතිය යළිත් සක්රීය කර ජනතාව ආරක්ෂා කර ගැනීම මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ අපේක්ෂාව වී තිබේ.
දුම්කොළ සහ මධ්යසාර ජාතික අධිකාරී පනත යටතේ මහේස්ත්රාත් අධිකරණයක නඩු පැවරීමක් සිදු කළහොත්, වරදකරුවන් වන අයට රුපියල් 2000ක දඩයක් හෝ මාස හයක සිරදඬුවමක් නියම කළ හැකි බවද උපුල් රෝහණ මහතා සඳහන් කළේය.
මෙරට පවතින සංස්කෘතිකමය කාරණා හේතුවෙන් මෙතෙක් කල් ඍජුව නීතිය ක්රියාත්මක නොකර ජනතාව දැනුවත් කිරීමට පමණක් පියවර ගත් බවත්, ඉදිරියේදී අකුරටම නීතිය ක්රියාත්මක කරන බවත් මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩිදුරටත් කියා සිටියි.
Comments
Moderated before publishing. Your email stays private.