රුපියල් බිලියන 2,000ක දැවැන්ත ප්‍රාග්ධන ප්‍රතිපාදන ඇතුළත් 2027 මූල්‍ය වර්ෂය සඳහා වන රජයේ අයවැය ප්‍රකාශය මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට (12) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ඊට අදාළ යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපතිවරයා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ නිරීක්ෂණයකට ලක් කළ අතර එම අවස්ථාවට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාද එක්ව සිටියේය.
දිට්වා ව්‍යසනය මෙන්ම මැදපෙරදිග අර්බුදය හමුවේ මතුවූ අභ්‍යන්තර හා බාහිර ආර්ථික පීඩනයන් දැඩි මූල්‍ය විනයකින් කළමනාකරණය කරමින් මෙම යෝජනා සකස් කර ඇති බව රජය අවධාරණය කරයි.
දෙවැනිවර සහ තෙවැනිවර ඡන්ද විමසීම් පැවැත්වෙන දින වකවානු
පසුගිය ඔක්තෝබර් 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතට අදාළව හෙට පැවැත්වෙන අයවැය කතාවෙන් අනතුරුව, නොවැම්බර් 13 වැනිදා සිට 20 වැනිදා දක්වා පුරා දින හතක් දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වෙන අතර එහි ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6:00ට සිදු කිරීමට නියමිතය.
ඉන්පසුව අයවැය කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 21 වැනිදා ආරම්භ වී දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක් පුරා අඛණ්ඩව පැවැත්වේ.
අනතුරුව 2027 අයවැය සම්මත කරගැනීමේ තෙවැනිවර අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6:00 ට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
සෙනසුරාදා දිනවලදීත් සභාව රැස්වෙයි
අයවැය විවාද කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දිනවලදීද පාර්ලිමේන්තු සභාවාර පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය තහවුරු කළාය.
තවද අයවැය ඉදිරිපත් කිරීම සහ ඉදිරි විවාද පැවැත්වෙන සමස්ත කාලසීමාව තුළ පාර්ලිමේන්තු සංකීර්ණය සහ ඒ අවට ප්‍රදේශ ආවරණය වන පරිදි ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්ව විශේෂ ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
Comments
Moderated before publishing. Your email stays private.