Swipe left or right to navigate stories
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට නියෝග

බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට නියෝග

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රතිපාදන අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට නියෝග කළේය.

අදාළ නඩුව අද (17) අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී ඒ් මහතා මෙම නියෝගය නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට වාර්තා කළේ 2014 වසරේ ඌව පළාත් සභා මැතිවරණ සමයේදී, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට ප්‍රවර්ධන කටයුතු සඳහා වෙන් කර තිබූ රුපියල් මිලියන 7.8ක (ලක්ෂ 78ක) මුදලක් ටී-ෂර්ට් 12,000ක් බෙදාහැරීම සඳහා යොදවා ඇති බවය.

මේ හරහා රජයට විශාල මූල්‍යමය පාඩුවක් සිදුකර ඇති අතර විමර්ශකයන් තහවුරු කළේ මේ වනවිට පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කර ඇති බවය.



හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයාට ඇප

මේ අතර රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ රූමි ජවුෆර් මහතාව රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. එසේම ඔහුට විදේශගත වීම තහනම් කරමින් නියෝගයක්ද පනවනු ලැබීය.

නඩු විභාගය අතරතුර මෙම සිද්ධියේ තුන්වන සැකකරු වන රූමි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා, අධිකරණයට දන්වා සිටියේ අපරාධ විධිවිධාන සංග්‍රහයේ 127 වගන්තිය යටතේ සිය සේවාදායකයා රහසිගත ප්‍රකාශයක් ලබාදීමට කැමැත්තෙන් පසුවන බවය.

සිද්ධියේ දෙවන සැකකරු වන එම කාර්යාංශයේ හිටපු සභාපතිවරයා වූ භාෂ්වර ගුණවර්ධන මහතාද රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මෙම මස 10 වැනිදා අධිකරණය නියෝග කර තිබිණ.



මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රශ්න කිරීම

මීට අමතරව 'බී වාර්තාවේ' නම සඳහන් කර ඇති කාර්යාංශයේ මූල්‍ය අධ්‍යක්ෂවරයාද මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කරන්නේද යන්න පිළිබඳව මහේස්ත්‍රාත්වරයා මෙහිදී ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවය.

නඩුව ලබන ඔක්තෝබර් 14 වැනිදා යළි කැඳවීමට නියමිතය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem