Swipe left or right to navigate stories
බන්ධනාගාර ඛේදවාචකය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය ශෝකය පළ කරයි

බන්ධනාගාර ඛේදවාචකය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය ශෝකය පළ කරයි

මීගමුව බන්ධනාගාරයේ මෑතකදී සිදු වූ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය බලවත් ශෝකය සහ සංවේගය පළ කර සිටියි.

මෙම ඛේදවාචකයෙන් පීඩාවට පත් වූ සියලුම පවුල් වෙත තමන් ඇතුළු ජගත් සංවිධානයේ ශෝකය පිරිනමන බව ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩ්‍රි ෆ්‍රැන්චේ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. එමෙන්ම සිදුවීමෙන් තුවාල ලැබූ සියලු දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවද එම නිවේදනයේ දැක්වේ.

බන්ධනාගාර නිලධාරීන් රජයට සහ මහජනතාව වෙනුවෙන් ඉටුකරනු ලබන්නේ ඉතා අභියෝගාත්මක මෙන්ම දුෂ්කර කාර්යභාරයක් බව පෙන්වා දෙන නේවාසික සම්බන්ධීකාරකවරයා, මෙම සිදුවීම හේතුවෙන් ඔවුන්ගේ අහිමි වීම ශ්‍රී ලංකාවට දැඩිව දැනෙනු ඇති බව සිය ශෝක පණිවුඩයේ දක්වා ඇත.



අභියෝග සහ ප්‍රතිසංස්කරණ

මෙම ඛේදවාචකය හරහා ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ වහාම ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිසංස්කරණ මාලාවක ඇති වැදගත්කම යළිත් අවධාරණය වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

විශේෂයෙන්ම ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාවේ ද බන්ධනාගාර මුහුණ දෙන ප්‍රධානතම අභියෝග 3ක් ඔවුන් හඳුනාගෙන ඇති අතර බන්ධනාගාරවල පවතින අධික තදබදය, යල් පැන ගිය පාලන ක්‍රමවේද සහ ඇතැම් රැඳවුම් ස්ථානවල පවතින දුර්වල සහ අවම පහසුකම් සහිත තත්ත්වයන් ඒ අතර වේ.

ආරක්ෂාව සහ යහපැවැත්ම සම්බන්ධ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීම මෙවැනි අභියෝග ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ප්‍රයෝජනවත් මාර්ගෝපදේශයක් සපයනු ඇති බවද එහි සඳහන් වේ.



ස්වාධීන විමර්ශන කමිටුව

මෙම සිදුවීම පිළිබඳව සොයා බලා විමර්ශනය කිරීම සඳහා රජය විසින් "ස්වාධීන විමර්ශන කමිටුවක්" පත් කිරීමට පියවර ගැනීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇගයීමට ලක්ව ඇත.

එම විමර්ශනය හරහා බන්ධනාගාර පද්ධතිය දීර්ඝ කාලීනව සහ සාර්ථක ලෙස වැඩිදියුණු කිරීමට මඟ පෑදෙනු ඇති බවට ඔවුන් විශ්වාසය පළ කරයි.

එමෙන්ම බන්ධනාගාර ආරක්ෂාව ශක්තිමත් කිරීම, රැඳවුම් තත්ත්වයන් උසස් කිරීම සහ බන්ධනාගාර නිලධාරීන්ගේ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගීතාව ඇතුළු සියලුම අඛණ්ඩ සහයෝගයන් ශ්‍රී ලංකාවට ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් බවද එම නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem