26 වැනි පොදුරාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙල ඊයේ (23) ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී ආරම්භ විය. මෙවර තරගාවලිය සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවන් 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වනු ඇත.
මෙම ක්රීඩා උළෙල පැවැත්වීමට නියමිතව තිබුණේ ඕස්ට්රේලියාවේ වික්ටෝරියා ප්රාන්තයේ වුවත්, ඔවුන් එහි සත්කාරකත්වයෙන් ඉවත් වීමත් සමග පිරිවැය පාලනය කිරීමේ පියවරක් ලෙස සංවිධායකයන් ක්රීඩා ඉසව් සංඛ්යාව 19 සිට 10 දක්වා අඩු කර ඇත.
මෙවර ක්රීඩා උළෙල වඩාත් සරල ආකෘතියක් හඳුන්වා දී ඇති අතර ඒ අනුව මෙවර ක්රීඩා උළෙලට සහභාගී වන්නේ 3,000 කට ආසන්න සංඛ්යාවක් පමණි. මින් පෙර 2022 බර්මින්හැම්හි පැවැති ක්රීඩා උළෙලට ක්රීඩක ක්රීඩිකාවන් 4,822 දෙනෙකු සහභාගී වූහ.
පසුබිම
පොදුරාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙල යනු බ්රිතාන්ය අධිරාජ්යයේ පැවැති පාලන ප්රදේශ බොහොමයකින් සැදුම්ලත් පොදුරාජ්ය මණ්ඩලීය රටවල් වෙනුවෙන් වසර හතරකට වරක් පැවැත්වෙන ක්රීඩා උළෙලකි.
1930 දී "බ්රිතාන්ය අධිරාජ්ය ක්රීඩා උළෙල" ලෙස ප්රථම වරට ආරම්භ වූ මෙය, 1978 දී "පොදුරාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙල" ලෙස නම් කරන ලදි.
රටවල් 9 ක නගර 20 ක් මේ දක්වා ක්රීඩා උළෙලට සත්කාරකත්වය ලබා දී ඇති අතර 2014 දී සත්කාරකත්වය දැක්වූ ග්ලාස්ගෝ නුවර මෙවර එහි සත්කාරකත්වය දක්වන්නේ දෙවැනි වරටය.
ශ්රී ලංකා කණ්ඩායම
මෙවර ශ්රී ලංකාව නියෝජනය කරන ක්රීඩක ක්රීඩිකාවන් 40 දෙනාගෙන් හරියටම අඩක්, එනම් 20 දෙනෙකුම මලල ක්රීඩා අංශයෙන් තරග වදිති.
ඊට අමතරව බොක්සිං ක්රීඩකයන් 6 ක්, බර එසවීම් ක්රීඩකයන් 5 ක්, කලාත්මක ජිම්නාස්ටික් ක්රීඩකයන් 3 ක් සහ පිහිනුම් හා ජූඩෝ අංශවලින් ක්රීඩකයන් දෙදෙනා බැගින් ශ්රී ලංකා සංචිතයට ඇතුළත් වෙති.
ආබාධිත මලල ක්රීඩා අංශයෙන්ද ක්රීඩකයින් දෙදෙනෙක් මෙවර තරගාවලියේදී ශ්රී ලංකාව නියෝජනය කරති.
රන් පදක්කම් බලාපොරොත්තු
මෙවර ක්රීඩා උළෙලේදී රන් පදක්කම් දිනාගැනීමට හැකියාවක් ඇති ප්රමුඛ පෙළේ ක්රීඩක ක්රීඩිකාවන් දෙදෙනෙකු ශ්රී ලංකා සංචිතයේ සිටිති.
පිරිමි හෙල්ල විසි කිරීමේ අංශයෙන් දැනට ලෝක ශ්රේණිගත කිරීම්වල 2 වැනි ස්ථානයේ පසුවන රුමේෂ් තරංග, එම ඉසව්වේ රන් පදක්කම සඳහා තරග වදින ප්රබල තරගකරුවෙකු ලෙස හැඳින්විය හැකිය.
ජිම්නාස්ටික් ක්රීඩිකා ටියානා සුමනසේකර, 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ ඇමෙරිකානු ජිම්නාස්ටික් කණ්ඩායමේ අතිරේක ක්රීඩිකාවක ලෙස කටයුතු කළ අතර මෑතකදී ශ්රී ලංකාව නියෝජනය කිරීමට තීරණය කළාය. කෙසේ වෙතත් උරහිසේ ආබාධයක් හේතුවෙන් ඇය මෙවර තරග කරන්නේ කාන්තා 'බැලන්ස් බීම්' ඉසව්ව සඳහා පමණි.
පදක්කම් ඉතිහාසය
ශ්රී ලංකාව පොදුරාජ්ය මණ්ඩලීය ක්රීඩා ඉතිහාසයේ මේ දක්වා රන් පදක්කම් 2 ක් ඇතුළුව සමස්ත පදක්කම් 21 ක් දිනාගෙන ඇත.
ශ්රී ලංකාව දිනාගත් අවසන් රන් පදක්කම වූයේ 2006 මෙල්බර්න් ක්රීඩා උළෙලේදී පිරිමි කිලෝග්රෑම් 62 බර එසවීමේ අංශයෙන් චින්තන විදානගේ දිනාගත් රන් පදක්කමය.
සමස්ත පදක්කම් සංඛ්යාව සැලකීමේදී ශ්රී ලංකාවේ වඩාත්ම සාර්ථකම ක්රීඩා උළෙල වූයේ 2018 ගෝල්ඩ් කෝස්ට් උළෙල වන අතර එහිදී බර එසවීම සහ බොක්සිං අංශවලින් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 5 ක් ලෙස පදක්කම් 6 ක් දිනා ගැනීමට ශ්රී ලංකාව සමත් විය.
Comments
Moderated before publishing. Your email stays private.