ආගමික සහ සංස්කෘතික පෙරහැරවල් සඳහා ගෘහාශ්රිත අලි ඇතුන් යොදා ගැනීම පිළිබඳ විස්තීර්ණ මාර්ගෝපදේශ ඇතුළත් නව ගැසට් පත්රයක් ළඟදීම නිකුත් කරන බව අද (21) පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී.
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද්රාණී කිරිඇල්ල මහත්මිය ඇසූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් පරිසර නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි මහතා ඒ් බව කියා සිටියේය.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්යාංශය සමඟ එක්ව කටයුතු කරන විශේෂඥ කමිටුවක් විසින් මෙම නව නියාමන රාමුව දැනට අවසන් කරමින් සිටින බව එහිදී ඔහු වැඩි දුරටත් පැවසීය.
සාම්ප්රදායික පෙරහැර
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර වැනි සාම්ප්රදායික උත්සව සඳහා අලි ඇතුන් ලබාදීමට රජය කිසිදු තහනමක් හෝ සීමාවක් පනවා නොමැති බව නියෝජ්ය අමාත්ය ජයකොඩි මහතා මෙහිදී පැහැදිලි කළේය.
අලි ඇතුන්ගේ සෞඛ්යය සහ ඇත්ගොව්වන් පුහුණු කිරීම සම්බන්ධ ගැටලු පිළිබඳවද අදහස් දැක්වූ නියෝජ්ය අමාත්යවරයා සඳහන් කළේ, ජාතික සත්වෝද්යාන දෙපාර්තමේන්තුව මගින් දැනුවත් කිරීමේ සහ සුභසාධන වැඩසටහන් සක්රීයව ක්රියාත්මක කරන බවය.
එමෙන්ම ඇත්ගොව්වන් සඳහා අවශ්ය පහසුකම්, දැනුවත් කිරීම් සහ මාර්ගෝපදේශ ලබාදීමට රජය ඉදිරියටත් කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
පෞද්ගලික අලි ඇතුන්
ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත නව ගැසට් පත්රය මගින් පෞද්ගලිකව අලි ඇතුන් ළඟ තබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන් සඳහා වන දැඩි නිර්ණායක පැනවීමට නියමිතය.
ඊට අමතරව අලි ඇතුන් පාලනය කිරීම සඳහා තිබිය යුතු මූලික වාසස්ථාන අවශ්යතා සහ අත්යවශ්ය සුභසාධන ප්රමිතීන් මොනවාද යන්න පිළිබඳවද මෙම නව ගැසට් පත්රය මගින් අවධාරණය කෙරෙනු ඇත.
Comments
Moderated before publishing. Your email stays private.