Swipe left or right to navigate stories
පාස්කු ප්‍රහාර නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා

පාස්කු ප්‍රහාර නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති පාස්කු මහ නඩුවේ තීන්දුව ලබන සැප්තැම්බර් 22 වැනිදා නිකුත් කරන බව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නිවේදනය කළේය.

නඩුවේ විත්තියේ සාක්ෂි විභාගය පෙරේදා (24) පස්වරු 6.00 ට අවසන් වූ අතර ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා ලබන සැප්තැම්බර් 9 වැනිදා නඩුව නැවත කැඳවීමට නියමිතය.

මෙම ඓතිහාසික නඩුව තීරණාත්මක අවසන් අදියරට පැමිණ තිබීම සැලකිල්ලට ගනිමින් නඩුව විභාග කරන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ ආරක්ෂාව වහාම ක්‍රියාත්මක වන පරිදි දැඩි කිරීමට පියවර ගෙන තිබේ.



වසර 5ක දීර්ඝ නඩු විභාගය

2019 වසරේ පාස්කු ඉරිදා කොළඹ, මීගමුව සහ මඩකලපුව ප්‍රදේශවල කිතුනු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව නඩු පවරන ලදී.

කෙසේ වෙතත් 2021 වසරේදී එක් විත්තිකරුවකු මියයාම හේතුවෙන් නවුෆර් මවුලවි ඇතුළු ඉතිරි විත්තිකරුවන් 24 දෙනාට 2021 ඔක්තෝබර් 4 වැනිදා අධි චෝදනා 23,270 ක් භාර දීමට කටයුතු කෙරිණි.

වසර 5 කට ආසන්න කාලයක් පුරා දින 547 ක් තිස්සේ දීර්ඝ ලෙස විභාග වූ මෙම නඩුවේදී පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් සාක්ෂිකරුවන් 2,309 දෙනෙකු සාක්ෂි ලබා දී ඇති අතර පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම ඉකුත් 17 වැනිදා අවසන් විය.



විනිසුරු මඩුල්ල

මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ (සභාපති), සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව විභාග වේ.

පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර, අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා, අධිනීතිඥවරුන් වන සජිත්ත බණ්ඩාර, ශක්ති ජාගොඩආරච්චි සහ අකිලා දල්පදාදු යන නීතිඥ කණ්ඩායම පෙනී සිටියි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem