යාපනය, පෙරියවිලන් ප්රදේශයේ පැවති උණුසුම් ඉඩම් ආරවුලක් අතරතුර කාන්තාවන් දෙදෙනෙකුට පිස්තෝලයක් එල්ල කර තර්ජනය කළ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී අර්චුනා රාමනාදන් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පවසන පරිදි මෙම ආරවුල සම්බන්ධයෙන් විමර්ශන ක්රියාත්මක වන අතරතුර මන්ත්රීවරයා සමඟ අදාළ ගැටුමට සම්බන්ධ වූ එක් කාන්තාවක්ද ඊයේ (26) අත්අඩංගුවට ගෙන ඇත.
මන්ත්රීවරයා තමන්ට අයිති යැයි පවසන ඉඩම් කොටසක් ශුද්ධ පවිත්ර කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී තවත් පාර්ශවයක් එම දේපළෙහි අයිතිය ඉල්ලා සිටීමත් සමඟ මෙම ගැටුම හටගෙන ඇති බව පොලිසිය ප්රකාශ කරයි.
පසුබිම
අදාළ ඉඩම මන්ත්රීවරයාට අයත් බව මීට පෙර මල්ලකම් මහේස්ත්රාත් අධිකරණය විසින් තහවුරු කර තිබූ අතර එහි ඉදිකිරීම් කටයුතු සඳහාද අවසර ලබා දී තිබුණි. කෙසේ වෙතත් මන්ත්රීවරයා එම ඉඩමට ගිය අවස්ථාවේදී කාන්තාවන් දෙදෙනෙකු එහි අයිතිය ඉල්ලා සිටීම නිසා මෙම උණුසුම් තත්ත්වය ඇති වී තිබේ.
එහිදී කාන්තාවන් දෙදෙනෙකු ඔහු ඉදිරියට පැමිණ ප්රශ්න කිරීමත් සමඟ ආරවුල උත්සන්න වී ඇත. එම අවස්ථාවේදී කුපිත වූ මන්ත්රීවරයා, සිය ගිනි අවිය අතට ගෙන නිරායුධ කාන්තාවන්ට තර්ජනය කළ බවට සාක්ෂිකරුවන් වාර්තා කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක වෙමින් පවතින බව පොලිසිය පවසයි.
මින් පෙර අත්අඩංගුවට පත්වීම්
ඉකුත් වසරේ (2025) වසරේ සැප්තැම්බර් මස 29 වැනිදා කොළඹ පැවැති විරෝධතාවක් අතරතුර රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අර්චුනාව මහතාව අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළ අතර පසුව කොළඹ කොටුව මහේස්ත්රාත්වරයා විසින් ඇප මත මුදා හරින ලදී.
පාර්ලිමේන්තු මන්ත්රීවරයකු වීමට පෙර 2021 වසරේදී බේස්ලයින් මාර්ගයේ සිදුවූ රිය අනතුරකට සම්බන්ධ වූ අර්චුනා මහතා, අනෙක් රථයේ රියදුරාට පහර දුන් බවට චෝදනා එල්ල විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් 2024 වසරේ නොවැම්බර් මාසයේදී ඔහුට එරෙහිව වරෙන්තුවක් නිකුත් කරන ලදී.
Comments
Moderated before publishing. Your email stays private.