ඇමරිකාවේ, කැනඩාවේ සහ මෙක්සිකෝවේ සත්කාරකත්වෙන් පැවැත්වෙන මෙවර (2026) පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග 24 ක් මේ වන විට නිමාවට පත්ව තිබේ. එහිදී තරගාවලියට සහභාගි වී සිටින සෑම කණ්ඩායමක්ම එක් තරගයකට බැගින් ක්රීඩා කර තිබේ.
මූළික වටය නිමාවීමට තවත් තරග 48 ක් ඉතිරිව ඇති අතර මූලික වටය අවසානයේ කාණ්ඩ 12 හි පළමු සහ දෙවැනි ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම් පිළිමළුන් පිටුදැකීමේ වටයට පිවිසෙනු ඇත.
පිළිමළුන් පිටුදැකීමේ වටය කණ්ඩායම් 32 කින් ආරම්භ වන බැවින් එක් එක් කාණ්ඩවල තෙවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් අතරින් ඉහළම දක්ෂතා දක්වන කණ්ඩායම් 8 ටද ඊට ඇතුළත් වීමට අවස්ථාව හිමිවනු ඇත.
මෙතෙක් තරග ප්රතිඵල
‘ඒ‘ කාණ්ඩය
- මෙක්සිකෝව ගෝල 2-0 කින් දකුණු අප්රිකාව පරදවයි.
- දකුණු කොරියාව ගෝල 2-1 කින් චෙක් ජනරජය පරදවයි.
‘බී‘ කාණ්ඩය
- කැනඩාව සහ බොස්නියාව ගෝල 1-1 ක් ලෙස සම වෙයි.
- කටාර් රාජ්ය සහ ස්විට්සර්ලන්තය ගෝල 1-1 ක් ලෙස සම වෙයි.
‘සී‘ කාණ්ඩය
- බ්රසීලය සහ මොරොක්කෝව ගෝල 1-1 ක් ලෙස සම වෙයි.
- ස්කොට්ලන්තය ගෝල 1-0 කින් හයිටි රාජ්යය පරදවයි.
‘ඩී‘ කාණ්ඩය
- ඇමරිකාව ගෝල 4-1 කින් පැරගුවේ පරදවයි.
- ඕස්ට්රේලියාව ගෝල 2-0 කින් තුර්කිය පරදවයි.
‘ඊ‘ කාණ්ඩය
- ජර්මනිය ගෝල 7-0 කින් කියුරසාවෝ රාජ්යය පරදවයි.
- අයිවරි කොස්ට් රාජ්ය ගෝල 1-0 කින් ඉක්වදෝරය පරදවයි.
‘එෆ්‘ කාණ්ඩය
- නෙදර්ලන්තය සහ ජපානය ගෝල 2-2 ක් ලෙස සම වෙයි.
- ස්වීඩනය ගෝල 5-1 කින් ටියුනීසියාව පරදවයි.
‘ජී‘ කාණ්ඩය
- බෙල්ජියම සහ ඊජිප්තුව ගෝල 1-1 ක් ලෙස සම වෙයි.
- ඉරානය සහ නවසීලන්තය ගෝල 2-2 ක් ලෙස සම වෙයි.
‘එච්‘ කාණ්ඩය
- ස්පාඥ්ඥය සහ කොබෝ වර්ඩ් රාජ්යය ගෝල 0-0 ක් ලෙස සම වෙයි.
- සවුදි අරාබිය සහ උරුගුවේ ගෝල 1-1 ක් ලෙස සම වෙයි.
‘අයි‘ කාණ්ඩය
- ප්රංශය ගෝල 3-1 ක් ලෙස සෙනගාලය පරදවයි.
- නෝවේ රාජ්යය ගෝල 4-1 ක් ලෙස ඉරාකය පරදවයි.
‘ජේ‘ කාණ්ඩය
- ආජන්ටිනාව ගෝල 3-0 ක් ලෙස ඇල්ජීරියාව පරදවයි.
- ඔස්ට්රියාව ගෝල 3-1 ක් ලෙස ජෝර්දානය පරදවයි.
‘කේ‘ කාණ්ඩය
- පෘතුගාලය සහ කොන්ගො රාජ්යය ගෝල 1-1 ක් ලෙස සම වෙයි.
- කොලොම්බියාව ගෝල 3-1 ක් ලෙස උස්බැකිස්තානය පරදවයි.
‘එල්‘ කාණ්ඩය
- එංගලන්තය ගෝල 4-2 ක් ලෙස ක්රොයේෂියාව පරදවයි.
- ඝානාව ගෝල 1-0 ක් ලෙස පැනමාව පරදවයි.
දැනට කාණ්ඩ ශූරයන්
මේ වන විට මෙක්සිකෝව, ස්කොට්ලන්තය, ඇමරිකාව, ජර්මනිය, ස්වීඩනය, නෝර්වේ, ආජන්ටිනාව, කොලොම්බියාව සහ එංගලන්තය සහභාගි වූ තරග ජයගනිමින් ඔවුන් නියෝජනය කරන කාණ්වල පෙරමුණ ගෙන සිටියි.
ස්විට්සර්ලන්තය, නවසීලන්තය සහ උරුගුවේ ඔවුන් නියෝජනය කරන කාණ්ඩවල පෙරමුණ ගෙන සිටින්නේ සහභාගි වූ තරග ජය පැරදුමකින් තොරව නිමාවට පත්කර ගනිමිනි.
දකුණු කොරියාව, ඕස්ට්රේලියාව, අයිවරි කොස්ට්, ප්රංශය, ඔස්ට්රියා සහ ඝානාව සහභාගි වූ තරග ජය ගැනීමට සමත් වුවද, එහිදී ලබාගත් ගෝල සහ ප්රතිවාදීන්ට ලබාදුන් සංඛ්යාවන්ගේ පරතරය අනුව තමන් නියෝජනය කරන කාණ්ඩවල දෙවැනි ස්ථානයේ රැදී සිටියි.
සත්කාරකත්වයේ වාසිය
මෙක්සිකෝව සහ දකුණු අප්රිකාව අතර පැවැති සමාරම්භක තරගයෙන් ගෝල 2-0 ක් ලෙස ජය වාර්තා කිරීමට මෙක්සිකෝව සමත් වුවද, එහිදී දෙපිලේම එක් ක්රිඩකයා බැගින් විනිසුරුගේ දැඩි අවවාද සමග රතු කාඩ්පත් ලැබූහ.
පැරගුවේට එරෙහිව පැවැති තරගය ජය ගැනීමට ඇමරිකාව සමත් වූයේ ගෝල 4-1 ක් ලෙසිනි. එහිදී ෆෙලරින් බැලොගන් ගෝල ද්විත්වයක් වාර්තා කිරීමට සමත් විය.
බොස්නියාව හමුවේ පරාජය වීමට ගිය තරගය ගෝල 1-1 ක් ලෙස සමව අවසන් කර ගැනීමට කැනඩාව සමත් වූ අතර තරගය නිමා වීමට විනාඩි 12 ක්ව තිබියදි ගෝලයක් වාර්තා කළ කයිල් ලැරින් සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගත්තේය.
සමව අවසන් වූ තියුණු තරග
මේ දක්වා සමව අවසන් වූ තරග අතරින් බ්රසීල-මොරොක්කෝ තරගය, ජපාන-නෙදෙර්ලන්ත තරගය, බෙල්ජියම්-ඊජිප්තු තරගය, සවුදි අරාබි-උරුගුවේ තරගය සහ පෘතුගාල-කොන්ගෝ තරගය වැඩි දෙනෙකුගේ අවදානයට ලක් විය.
පස්වරක් ලෝක ශූරයන් බවට පත්ව සිටින බ්රසීලයට එරෙහිව පැවැති තරගය සමව අවසන් කර ගැනීමට හැකිවීම මොරොක්කෝව ලැබූ විශාල ජයග්රහණයකි. මේ වන විට බ්රසීලය ලෝක පාපන්දු ශ්රේණිගත කිරීම්වල 5 වැනි ස්ථානයේත්, මොරොක්කෝව 6 වැනි ස්ථානයේත් පසුවේ.
එහෙත් ශ්රේණිගත කිරීම්වල 43 වැනි ස්ථානයේ පසුවන කොන්ගෝ රාජ්යය සහ 7 වැනි ස්ථානයේ පසුවන පෘතුගාලය අතර පැවැති තරගයද සමව අවසන් වනු ඇතැයි පාපන්දු ක්රීඩා ලෝලීන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූහ.
මෙසීගේ වාර්තාව
ඇල්ජීරියාවට එරෙහිව පැවැති තරගයේදී ගෝල ත්රිත්වයක් වාර්තා කරමින් එදා මෙදා තුර පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියාගේ වාර්තාව සම කිරීමට ආජන්ටිනාවේ ලයනල් මෙසී සමත් විය.
එම ගෝල ත්රිත්වයත් සමග සිය ලෝක කුසලාන ගෝල සංඛ්යාව 16 ක් දක්වා ඉහළ දමාගැනීමට මෙසී සමත් වූ අතර ඔහුට පෙර ලෝක කුසලාන පාපන්දු තරගවලදී ගෝල 16 ක් රැස්කරගෙන සිටි ක්රීඩකයා වූයේ ජර්මනියේ මිරෝස්ලව් ක්ලෝසෙය.
මේ වන විට 38 වැනි වියේ පසුවන මෙසී ක්රීඩා කරන 6 වැනි ලෝක කුසලාන තරගාවලිය මෙය වන අතර ඔහු හැරුණු කොට ලෝක කුසලාන තරගාවලි 6 කට ක්රීඩා කර ඇති එකම ක්රීඩකයා වන්නේ පෘතුගාලයේ ක්රිස්ටියානෝ රොනල්ඩෝය.
ජර්මනියෙන් ගෝල වැස්සක්
සිය මංගල පාපන්දු ලෝක කුසලාන තරගාවලයට සහභාගි වන කියුරසාවෝ රාජ්යයට එරෙහිව පැවැති තරගයේදී ගෝල 7 ක් රැස්කිරීමට ජර්මනිය සමත් වූ අතර එය මේ දක්වා පැවැති තරගවලදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ගෝල සංඛ්යාවද විය.
පළමු අර්ධයේදී ගෝල 2-1 ක් ලෙස පෙරමුණ ගත් ජර්මනිය, දෙවැනි අර්ධයේදී තවත් ගෝල 5 ක් රැස්කරමින් ගෝල 7-1 ක් ලෙස තරගයේ ජය තමන් සතුකර ගත්තේය.
කෙසේ වුවත් එම තරගයේදී ප්රබල ජර්මනියට එරෙහිව ගෝලයක් වාර්තා කිරීමට කියුරසාවෝ රාජ්යය සමත් වීම කැපී පෙනුණ සිදුවීමක් බවට පත් විය.
වොසින්හාගේ දැල් රැකීම
මේ දක්වා පැවැති තරගවලදී වඩත් කැපී පෙනුණ ලෙස දැල රකින්නාගේ කාර්යය ඉටු කළ ක්රීඩකයා ලෙස සිය මංගල පානන්දු තරගාවලියට එක්ව සිටින කෝබෝ වර්ඩ් කණ්ඩායමේ දැල රකින ක්රීඩක වොසින්හා හැඳින්විය හැකිය.
ප්රබල ස්පාඥ්ඥයට එරෙහිව පැවැති තරගයේදී ප්රතිවාදී කණ්ඩායමේ ක්රීඩකයන්ට එකදු ගෝලයක් හෝ වාර්තා කිරීමට ඉඩක් නොදෙමින් ඔහු විශිෂ්ඨ ක්රීඩා විලාශයක නිරත විය.
එහිදී ජර්මානු ක්රීඩකයන්ගේ පා පහර 23 ක් නවතාලීමට වොසින්හා සමත් වූ අතර ඊට නිශ්චිත වශයෙන්ම දැල ඉලක්ක කරමින් එල්ල කළ පා පහර 8 ක්ද ඇතුළත් විය.
Comments
Moderated before publishing. Your email stays private.