Swipe left or right to navigate stories
ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විවෘත වරෙන්තුවක්

ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විවෘත වරෙන්තුවක්

අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගෙන වහාම ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මාර්ගයෙන් අදාළ වරෙන්තුව නිකුත් කිරීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාටද නියෝග කළේය.

එමෙන්ම මෙම නඩුවට අදාළව අද දින අධිකරණය හමුවේ පෙනී සිටි සෙසු විත්තිකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියම කර ඇත.



අධිකරණය මඟහැර විදේශගත වෙලා?

2015 ජනාධිපතිවරණ සමයේ කහවත්ත ප්‍රදේශයේ පැවැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැළියකට වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබුණි. කෙසේ වෙතත් ඊට එරෙහිව ඉදිරිපත් වූ අභියාචනයක් සලකා බැලූ අභියාචනාධිකරණය පසුව මොවුන් නිදොස් කොට නිදහස් කළේය.

එම නිදහස් කිරීමට එරෙහිව අගතියට පත් පාර්ශ්වය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ අභියාචනා පෙත්සමේ විභාගය පසුගිය සැප්තැම්බර් 04 වැනිදා අවසන් වූ අතර අද (21) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විත්තිකරුවන් තිදෙනාට නොතීසි නිකුත් කර තිබුණි.

නමුත් නඩුව අද කැඳවූ අවස්ථාවේදී ප්‍රේමලාල් ජයසේකර මහතා අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු මේ වන විට විදේශගතව සිටින බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම විවෘත වරෙන්තුව නිකුත් කිරීමට නියෝග කරන ලදී.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem