චීනයේ ටිබෙට් ස්වයංපාලන කලාපයේ නාග්චු නගරයට අයත් බාචෙන් ප්‍රදේශයේ ඊයේ (22) රාත්‍රියේ සිදුවූ ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
රික්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රබලත්වයකින් යුතු වූ මෙම භූකම්පනය හේතුවෙන් තවත් 46 දෙනෙකු තුවාල ලබා ඇති අතර ප්‍රදේශය පුරා හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
ජීවිත හා දේපළ හානිවල තත්ත්වය
එරට වේලාවෙන් ඊයේ රාත්‍රී 10.33ට පමණ මෙම භූකම්පනය සිදුව ඇති බව චීන භූමිකම්පා මධ්‍යස්ථානය තහවුරු කරයි. තුවාල ලැබූවන් අතුරින් 11 දෙනෙකුගේ තත්ත්වය බරපතළ වන අතර තවත් 35 දෙනෙකු සුළු තුවාල ලබා තිබේ.
භූමිකම්පාවත් සමඟ බාචෙන් ප්‍රදේශයේ නිවාස 339ක් සම්පූර්ණයෙන්ම කඩා වැටීමට හෝ බරපතළ හානියට ලක්ව ඇති අතර සත්ව ගොවිපළ 20කට ආසන්න සංඛ්‍යාවකටද හානි සිදුව ඇති අතර එමෙන්ම ප්‍රදේශයේ විදුලි බල සැපයුම සහ සන්නිවේදන ජාල සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ.
ජනාධිපති උපදෙස් සහ මුදාගැනීමේ මෙහෙයුම්
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇති චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, විපතට පත් පිරිස් නිසි පරිදි නැවත පදිංචි කිරීමටත්, ඔවුන්ගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමටත් වහාම පියවර ගන්නා ලෙස බලධාරීන්ට උපදෙස් දී ඇත.
ඒ අනුව චීන මහජන විමුක්ති හමුදාවේ බටහිර විධානය මගින් හදිසි සහන ප්‍රතිචාර යාන්ත්‍රණය ක්‍රියාත්මක කර තිබේ. විශේෂ ගුවන් යානා යොදවා ප්‍රදේශය නිරීක්ෂණය කරමින් ආසන්නයේ සිටි හමුදා ඒකක මුදාගැනීමේ සහ සහන සැලසීමේ මෙහෙයුම් සඳහා යොදවා ඇත.
Comments
Moderated before publishing. Your email stays private.