පශ්චාත් ආපදා ප්රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ඉන්දියාව විසින් ශ්රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 350ක ණය පහසුකමක් ලබා දී තිබේ.
ඉන්දීය විදේශ ලේකම් වික්රම් මිස්රි මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර අද (5) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති හමුවෙන් අනතුරුව මීට අදාළ ගිවිසුම් හුවමාරු කර ගැනිණ.
කොළඹදී පැවැති මෙම සාකච්ඡාවේදී දෙරටට අදාළ අන්යෝන්ය වැදගත් කරුණු මෙන්ම ඉන්දීය සහාය යටතේ ශ්රී ලංකාවේ ක්රියාත්මක ප්රධාන සංවර්ධන ව්යාපෘතිවල ප්රගතිය පිළිබඳවද දීර්ඝ ලෙස අවධානය යොමු කර තිබේ.
සහන පැකේජයේ කොටසක්
ඉන්දීය රුපියල් පදනම් කරගත් මෙම ඇමරිකානු ඩොලර් මිලියන 350ක ණය මාර්ගය, 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ශ්රී ලංකාවේ ප්රතිසංස්කරණ කටයුතු උදෙසා ඉන්දියාව ලබාදෙන ඇමරිකානු ඩොලර් මිලියන 450ක සමස්ත සහන පැකේජයේ කොටසක් බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
මෙම මූල්ය පහසුකම ප්රධාන වශයෙන් යටිතල පහසුකම් සංවර්ධනය, හානියට පත් ප්රදේශවල ප්රතිසංස්කරණ කටයුතු සහ සුළි කුණාටුවෙන් පසු මතුව ඇති ප්රසම්පාදන අවශ්යතා සපුරාලීම සඳහා යොදවා ගැනීමට නියමිතය.
ද්විපාර්ශ්වික සාකච්ඡා
ඉන්දීය විදේශ ලේකම් වික්රම් මිස්රි මහතාගේ මෙම ශ්රී ලංකා සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අමතරව විදේශ කටයුතු අමාත්ය විජිත හේරත් මහතා ඇතුළු ශ්රී ලංකා රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සමඟද සාකච්ඡා පැවැත්විණ.
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ ප්රධාන සංවර්ධන ව්යාපෘති ඉක්මන් කිරීම මෙම සංචාරයේ ප්රධාන අරමුණ වී තිබේ.
ඒ අනුව දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්රී ලංකාවේ යටිතල පහසුකම් නැවත ගොඩනැගීමට ඉන්දියාව දක්වන මූල්ය දායකත්වයේ වැදගත් පියවරක් ලෙස මෙම ඩොලර් මිලියන 350ක ණය පහසුකම සැලකේ.
Comments
Moderated before publishing. Your email stays private.