ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් මධුෂිකා කත්‍රිආරච්චි මහත්මියට ශාස්ත්‍රපති උපාධිය සහ ඊට අදාළ සුවිශේෂී සම්මාන පිරිනැමීම ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති එරික් එස්. මේයර් මහතා අතින් ඊයේ (26) කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.
එක්සත් ජනපදයේ මොන්ටරිහි පිහිටි නාවික පශ්චාත් උපාධි විද්‍යාලයේ ආරක්‍ෂක සැපයුම් කළමනාකරණ පාඨමාලාව හදාරමින් ඇය දක්වන ලද දක්ෂතාව වෙනුවෙන් ඇයට මෙම සම්මාන පිරිනමා ඇත.
විදේශීය සිසුන් දෙදෙනෙකුට පමණක් හිමිවන දුර්ලභ සම්මානය
2024 ජූනි සිට 2025 දෙසැම්බර් දක්වා පැවති මෙම පාඨමාලාව තුළදී මධුෂිකා කත්‍රිආරච්චි මහත්මිය විසින් ප්‍රදර්ශනය කළ විශිෂ්ට අධ්‍යයන දක්ෂතාවන් හේතුවෙන් ඇයට සම්මාන ද්විත්වයක් හිමි විය.
එහිදී නාවික පශ්චාත් උපාධි විද්‍යාලය මඟින් පිරිනමන විශිෂ්ට නිබන්ධන සම්මානය සහ එම විද්‍යාලයේ අධ්‍යයන කටයුතු කරන විදේශීය සිසුන් අතුරින් වසරකට දෙදෙනෙකුට පමණක් පිරිනමන විශිෂ්ට විදේශීය ශිෂ්‍ය සම්මානය සම්මානය දිනාගැනීමට ඇය සමත් වූවාය.
ඒ අනුව ඇය "විශිෂ්ට උපාධිධාරිනියක" ලෙස ගෞරව සම්ප්‍රයුක්තව මෙම ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගත්තාය.
නාවික හමුදා ඉතිහාසයට එක්වූ රන් සළකුණක්
හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන ලුතිනන් කමාන්ඩර් මධුෂිකා කත්‍රිආරච්චි, 2013 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ කීර්තිමත් 'Sword of Honor' සම්මානය හිමිකරගත් ප්‍රථම කාන්තා මිඩ්ෂිප්මන්වරිය ලෙසද ඉතිහාසයට එක්වූ තැනැත්තියකි.
ඇයගේ මෙම ජාත්‍යන්තර ජයග්‍රහණය ශ්‍රී ලංකා නාවික හමුදාවට මෙන්ම මෙරට නාවික හමුදා පුහුණු හා සංවර්ධන ක්ෂේත්‍රයටද ලැබුණු සුවිශේෂී ගෞරවයක් ලෙස සනිටුහන් වේ.
මෙම විශේෂ උපාධි ප්‍රදානෝත්සවය සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු, රියර් අද්මිරාල් රොහාන් ජෝෂප් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.
Comments
Moderated before publishing. Your email stays private.