එයාර් බස් ගනුදෙනුවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා කළ ඇප ඉල්ලීම ප්රතික්ෂේප කළ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා, ඔහුව ඔක්තෝබර් මස 13 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (29) නියෝග කළේය.
සැකකරු වෙනුවෙන් අධිකරණයේදී සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවීම හේතුවෙන් මෙලෙස ඇප ඉල්ලීම ප්රතික්ෂේප කළ බව මහේස්ත්රාත්වරයා සිය නියෝගයෙන් සඳහන් කර සිටියේය.
මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එක්ව ඉදිරියේදී ඒකාබද්ධ අධි චෝදනා පත්රයක් ගොනු කිරීමට කටයුතු කරන බව නියෝජ්ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පැවසීය.
නඩු දෙකකටම අධිකරණය හමුවට
දුෂණ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂ මහතා අද (29) උදෑසන කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබුවේ ක්රිෂ් ගනුදෙනුව සහ එයාර් බස් ගනුදෙනුව යන නඩු දෙකටම අදාළවය.
නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්රාන්ස්වර්ක් චතුරස්රය, ක්රිෂ් පෞද්ගලික සමාගමට බදු දීමේදී අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වී සිටින නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවද අද (29) කැඳවන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා ඊයේ නියෝග කර තිබුණි.
ක්රිෂ් ගනුදෙනුවට අදාළ පැමිණිල්ල ලබන මස 6 වැනිදා කැඳවීමට අධිකරණය මීට පෙර දින නියම කර තිබුණද, අල්ලස් කොමිසම ගොනු කළ මෝසමක් සලකා බලමින් මහේස්ත්රාත්වරයා මෙම නියෝගය නිකුත් කරන ලදී.
එයාර් බස් ගනුදෙනුවේ නඩුවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂ මහතා අද දින එම නඩුවටද විවෘත අධිකරණයට ඉදිරිපත් කරන බව අල්ලස් කොමිසම මෙහිදී අධිකරණයට කරුණු දක්වමින් ප්රකාශ කළේය.
Comments
Moderated before publishing. Your email stays private.