එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගැනීම ඇතුළු චෝදනා 24ක් යටතේ අධිචෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන නොවැම්බර් 19 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (28) නියෝග කළේය.
එදිනට සැකකරු නැවත අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල, අදාළ නඩුව සම්බන්ධයෙන් එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙස පැමිණිලි පාර්ශ්වයටද නොතීසි නිකුත් කිරීමට පියවර ගත්තේය.
ඇප ඉල්ලීමට අවස්ථාව අහිමි වෙයි
ඊයේ (27) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා දුන් නියෝගයකට අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් නාමල් රාජපක්ෂ මහතාව අද (28) උදෑසන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට රැගෙන එන ලදී.
කෙසේ වෙතත් අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිලි පාර්ශ්වය අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප ඉල්ලීම ඉදිරිපත් කිරීමට විත්තියේ නීතිඥවරුන්ට අවස්ථාව හිමි නොවීය.
ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ රෙජිස්ට්රාර්වරියටත් නොතීසි
මේ අතර මෙම නඩුවට අදාළ මුල් නඩු වාර්තාව නිසි නීතිමය පටිපාටිය අනුගමනය කිරීමෙන් තොරව ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත යොමු කර ඇති බව මෙහිදී නිරීක්ෂණය වී තිබේ.
ඒ අනුව ඒ පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය වෙතද ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් විශේෂ නොතීසියක් නිකුත් කර ඇත.
Comments
Moderated before publishing. Your email stays private.