නාඔටුන්න වෙරළ තීරයේදී ඊයේ (24) අත්අඩංගුවට ගනු ලැබූ මත්ද්‍රව්‍ය තොගය තුළ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 561 ග්‍රෑම් 705 ක පමණ ප්‍රමාණයක් අඩංගුවී තිබූ බවත්, එහි දල වටිනාකම රුපියල් බිලියන 11.8 කට අධික බවත් ආරක්ෂක අංශ පවසයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව, මාතර, තලල්ල, නාඔටුන්න මුහුද සහ වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි ඊයේ උදෑසන සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී මෙම වැටලීම සිදු කර ඇත.
අත්අඩංගුවටගත් මත්ද්‍රව්‍ය තොගයේ විස්තර
වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලද විශ්වසනීය තොරතුරක් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ. එහිදී නාඔටුන්න වෙරළතීරයේ තිබූ මත්ද්‍රව්‍ය අඩංගු උර දහයක් සහ ගමන් මලු එකොළහක් සමඟ එම මත්ද්‍රව්‍ය රැගෙන ආ බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රාවක්ද නාවික හමුදා භාරයට ගෙන ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහය සහිතව සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ අදාළ තොගය තුළ පාර්සල් 200 ක අසුරන ලද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 239 ග්‍රෑම් 764 ක් සහ පාර්සල් 275 ක අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 321 ග්‍රෑම් 941 ක් පවතින බවය.
මෙම මත්ද්‍රව්‍ය තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබේ.
ප්‍රතිපත්තිමය ප්‍රකාශ සහ ජාතික මෙහෙයුම් ප්‍රගතිය
මෙම නිරීක්ෂණ වාරය සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
මෙම මෙහෙයුමත් සමඟ 2025 ඔක්තෝබර් මාසයේ සිට ආරම්භ වූ ‘රටම එකට’ ජාතික මෙහෙයුමට වසරක් පිරීමට වන විට නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව රුපියල් බිලියන 109 කට අධික වටිනා විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
ඉන් 2026 වසරේ මේ දක්වා කාලය තුළ පමණක් අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍යවල දළ වීථි වටිනාකම රුපියල් බිලියන 68 කට අධිකය.
Comments
Moderated before publishing. Your email stays private.