පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සහ ඔහුගේ ලේකම්වරයා අල්ලස් කොමිසම ගොනු කළ නඩු 04 කට අදාළව ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කළේය.
කෙසේ වෙතත් රුපියල් ලක්ෂ 81ක අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට අදාළව ඔවුන්ට එරෙහිව පවතින අනෙක් නඩුවේ ඇප ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, සැකකරුවන් දෙදෙනා ලබන නොවැම්බර් 06 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.
ඇප හිමිවීම සහ විදේශ ගමන් තහනම
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
ඒ අනුව අල්ලස් කොමිසම ඉදිරිපත් කළ පැමිණිලි 04 කට අදාළව එක් එක් සැකකරුට සෑම නඩුවක් සඳහාම රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ඊට අමතරව සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටද පියවර ගත් අතර එම නඩු ජනවාරි මස 26 වැනිදා 04 නැවත කැඳවීමට නියමිතය.
පොස්පේට් අල්ලස් නඩුවේ ඇප ප්‍රතික්ෂේප වීම
මේ අතර පොස්පේට් අපනයනය කිරීම සඳහා අවශ්‍ය බලපත්‍ර ලබාදීම වෙනුවෙන් පුද්ගලික සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 81ක අල්ලස් ලබාගැනීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් වන නඩුවේ ඇප ඉල්ලීම ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් අද දින ප්‍රතික්ෂේප කරනු ලැබීය.
එම නඩුවට අදාළව දැනටත් රක්ෂිත බන්ධනාගාර භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සහ ඔහුගේ ලේකම්වරයා ලබන නොවැම්බර් මස 06 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.
Comments
Moderated before publishing. Your email stays private.