ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර රාවල්පිණ්ඩි නුවරදී පැවැත්වෙන ටෙස්ට් ක්රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (11) දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් ශතක වාර්තා කිරීමට ධනංජය ද සිල්වා (නොදැවී 167) සහ කුසල් මෙන්ඩිස් (නොදැවී 117) සමත් වූහ.
ලකුණු 155 කට කඩුලු 4 ක් බිඳවැටී තිබූ අවස්ථාවේ පිටියේ එක් වූ ධනංජය සහ කුසල්, 5 වැනි කඩුල්ල වෙනුවෙන් 249 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩගනමින් ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 400 සීමාව දක්වා කැඳවාගෙන ගියහ.
මෙය ධනංජයගේ 14 වැනි ටෙස්ට් ශතකය වන අතර ඊට හතරේ පහර 20 ක් අන්තර්ගත විය. එහිදී කුසල් සිය 11 වැනි ශතකය ලබාගත්තේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් සමගිනි.
පාකිස්තාන ඉනිම
ශ්රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 434 ක් රැස්කිරීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.
එහිදී පාකිස්තානය වෙනුවෙන් සෞද් ශකීල් (93), ටයාබ් අරීෆ් (57), මොහොමඩ් ටාහා (51), අර්ෆට් මින්හාස් (52) සහ නායක බාබර් අසාම් (50) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.
පන්දු යැවීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්රනාන්දු සහ ඩිල්ෂාන් මධුෂංක කඩුලු 3 බැගින් බිඳහෙළද්දී, සොනාල් දිනූෂ, මිලාන් රත්නායක සහ ළහිරු කුමාර කඩුල්ල බැගින් දවාගත්හ.
ශ්රී ලංකා ඉනිම
පිළිතරු ඉනිම ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායම තරගයේ තෙවැනි දිනය නිමාවට පත්වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 404 ක් ලබා පාකිස්තානයට වඩා තවත් ලකුණු 30 ක් පසුපසින් සිටියි.
ආරම්භක පිතිකරු ළහිරු උදාර ලකුණු 42 ක්ද, අංක 4 පිතිකරු කමිඳු මෙන්ඩිස් ලකුණු 58 ක්ද රැස්කළ නමුත් පසිඳු සූරියබණ්ඩාර ලකුණු නොලබා දැවී යෑමත්, දිනේෂ් චන්දිමාල් එක් ලකුණකට දැවී යෑමත් ශ්රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් විය.
කෙසේ වුවත් කෙමෙන් කෙමෙන් ශ්රී ලංකා ඉනිම ගොඩනැගු ධනංජය සහ කුසල් මේ වන විට සිය කණ්ඩායම සටනක් දිය හැකි මට්ටමක් කරා ගෙනවිත් තිබේ.
ලකුණු පුවරුව
පාකිස්තාන පළමු ඉනිම - කඩුලු 9 කට 434
(අසාන් අවයිස් 30, ටයාබ් අරීෆ් 57, මොහොමඩ් ටාහා 51, බාබර් අසාම් 50, සෞද් ශකීල් 93, ඝාසි ඝෝරි 48, අර්ෆට් මින්හාස් 52, අසිත ප්රනාන්දු 107/3, ඩිල්ෂාන් මධුෂංක 108/3)
ශ්රී ලංකා පළමු ඉනිම - කඩුලු 4 කට 404
(ළහිරු උදාර 42, කමිඳු මෙන්ඩිස් 58, ධනංජය ද සිල්වා නොදැවී 167, කුසල් මෙන්ඩිස් නොදැවී 117, මොහොමඩ් අබ්බාස් 64/2, සකීබ් ඛාන් 105/2)
Comments
Moderated before publishing. Your email stays private.