කටාර් රාජ්යෙය්දී පැවැති ‘දෝහා ඩයමන් ලීග්‘ තරගාවලියේ හෙල්ල විසිකිරීමේ පිරිමි ඉසව්වේදී මීටර් 88.68 ක දක්ෂතාවක් දක්වමින් එම ඉසව්ව ජය ගැනීමට ශ්රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
මෙම ජයග්රහණයත් සමග ජර්මනියේ ජූලියන් වෙබර් පසුපසට ඇද දමමින් හෙල්ල විසිකිරීමේ ලෝක ශ්රේණිගත කිරීම්වල පළමු ස්ථානය දක්වා ඉහළට පැමිණීමටද, එහි දෙවැනි ස්ථානයේ පසුවන රුමේෂ්ට හැකිවනු ඇතැයි ශ්රී ලංකා මලල ක්රීඩා සංගමය තහවුරු කළේය.
මෙවර ඩයමන්ඩ් ලීග් තරග මාලාවේ මෙතෙක් පැවැති තරගාවලි තුනේදී පළමු ස්ථාන දෙකක් සහ දෙවැනි ස්ථානයක් හිමිකරගෙන සිටින රුමේෂ්, මේ වන විටත් එහි අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටියි.
දෝහා ඩයමන්ඩ් ලීගය
දෝහා ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා ලෝක ශ්රේණිගත කිරීම්වල පළමු ස්ථාන 8 තුළ රැදී සිටින ක්රීඩකයන් 10 දෙනාගෙන් 7 දෙනෙක්ම සහභාගි වූහ.
එහිදී රුමේෂ් පළමු ස්ථානයට පත්වෙද්දී, මලල ක්රීඩා ලෝක ශූරතාවලි දෙකක (2019 සහ 2022) රන් පදක්කම් ලාභී ග්රෙනඩාවේ ඇන්ඩසන් පීටර්ස් (මීටර් 86.38) දෙවැනි ස්ථානයටත්, ඔලිම්පික් ලෝකඩ පදක්කම් ලාභී (2025) ඇමරිකාවේ කර්ටිස් තොම්සන් (මීටර් 86.99) තෙවැනි ස්ථානයටත් පත් වූහ.
අබාධ තත්වයකින් සුවය ලබා යළි තරග බිමට පිවිසි 2020 ඔලිම්පික් සහ 2023 මලල ක්රීඩා ලෝක ශූරතාවලි රන් පදක්කම් ලාභී ඉන්දියාවේ නීරජ් චෝප්රා එහි සිවුවැනි ස්ථානයට පත්වූයේ මීටර් 85.69 ක දක්ෂතාවක් දක්වමිනි.
තරගයේ ගලා යෑම
දෝහා ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ පළමු පියවර අවසානයේ පෙරමුණ ගැනීමට ඇමරිකාවේ කටිස් තොම්සන් සමත් වූයේ ඔහු දැක්වූ මීටර් 85.99 ක දක්ෂතාව හේතුවෙනි.
කෙසේ වුවත් දෙවැනි පියවරේදී මීටර් 86.38 ක දක්ෂතාවක් දැක්වූ ග්රෙනඩාවේ ඇන්ඩසන් පීටර්ස්, තරගයේ පෙරමුණට පැමිණි අතර තෙවැනි පියවර අවසන් වන තෙක්ම ඔහු එහි පෙරමුණ රැකගත්තේය.
පළමු, දෙවැනි සහ තෙවැනි පියවරවලදී පිළිවෙලින් මීටර් 82.62 ක, 84.63 ක සහ 80.53 ක දක්ෂතාවන් දක්වා සිටි රුමේෂ්, තරගයේ ජයග්රාහී විසිකිරීම ලෙස මීටර් 88.68 ක දක්ෂතාවක් දැක්වුයේ සිවුවැනි පියවරේදීය. ඉන් අනතුරුව කිසිවකුට ඔහු පසුකර යෑමට නොහැකි වූහ.
ඩයමන්ඩ් ලීගයේ හෙල්ල විසිකිරීම
මෙම වසරේ ඩයමන්ඩ් ලීගය තරගාවලි 14 කින් සමන්විත වන ඊට හෙල්ල විසිකිරීමේ පිරිමි ඉසව්ව පැවැත්වෙන තරගාවලි 5 ක් ඇතුළත් වේ.
ඉන් තරගාවලි 3 ක් මේ වන විට නිමාවට පත්ව ඇති අතර සෙසු තරගාවලි දෙක ස්විට්සර්ලන්තයේ ලෝසාන් නුවරදී සහ සුරිච් නුවරදී අගෝස්තු මස 21 සහ 27 යන දිනවලදී පැවැත්වීමට නියමිතය.
මෙවර ඩයමන්ඩ් ලීගයේ හෙල්ල විසිකිරීමේ අවසන් මහ තරග බෙල්ජියමේ බ්රස්ලස් නුවරදී සැප්තැම්බර් 5 වැනිදා පැවැත්වීමට අතර ඊට මූලික වටයේ තරගාවලිවලදී ඉහළම දස්කම් දක්වන ක්රීඩකයන් 6 දෙනා ඊට සුදුසුකම් ලබනු ඇත.
රුමේෂ් පැමිණි ගමන් මග
පසුගිය මාර්තු මාසයේ දියගමදී මීටර් 89.39 ක දක්ෂතාවක් දක්වමින් කාගේත් අවදානය දිනාගත් රුමේෂ්, අප්රේල් මාසයේදී කෙන්යාවේ නයිරෝබි නුවරදී මීටර් 89.28 ක දුරක් හෙල්ල විසි කිරීමට සමත් විය.
මැයි මාසයේ මෙරොක්කෝවේ රබාත් නුරවදී පැවැති ඩයමන්ඩ් ලිග් තරගාවලියේදී ග්රෙනඩාවේ ඇන්ඩර්සන් පීටරස්ට පමණක් දෙවැනි වූ රුමේෂ් (මීටර් 85.97), ජූනි මස රෝමයේ පැවැති ඩයමන් ලීග් තරගාවලියේදී නව තරගාවලි වාර්තාවක්ද (මීටර් 92.62) පිහිටවමින් පළමු ස්ථානය දිනාගත්තේය.
දෝහා නුවර පැවැති ඩයමන්ඩ් ලීගයට සහභාගි වීමට පෙරාතුව රුමේෂ්, චෙක් ජනරජයේදී පැවැති ඔස්ට්රාවා ගෝල්ඩන් ස්පයික් මලල ක්රීඩා ශූරතාවලියේදී ඔහු දැක්වූ දක්ෂතාවය මීටර් 86.57 කි.
Comments
Moderated before publishing. Your email stays private.