Swipe left or right to navigate stories
දෙමළ - මුස්ලිම් පක්ෂ 6 ක එකමුතුව සහ ජනාධිපති අතර හමුවක්

දෙමළ - මුස්ලිම් පක්ෂ 6 ක එකමුතුව සහ ජනාධිපති අතර හමුවක්

දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ හයක් එකතු වී පිහිටුවා ගත් එකමුතුවේ නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ හමුවක් ඊයේ (3) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම, උතුරු-නැගෙනහිර සහ මලෙයගම් ප්‍රජාව මුහුණ දෙන ඉඩම් ගැටලු ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරිණි.

එහිදී දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ ගැටලු වෙනුවෙන් මෙවැනි එකමුතුවක් ගොඩනැගීම පිළිබඳව ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා, ජාතික සහජීවනයට බාධා නොවන ලෙස සමස්ත මහජන ගැටලු වෙනුවෙන් එක්ව කටයුතු කරන ලෙසද ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.



නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

මෙහිදී අදහස් දැක්වූ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ එම්.ඒ. සුමන්තිරන් මහතා පෙන්වා දුන්නේ නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීම හදිසියේ කළ නොහැකි බවත්, එය 1972 හෝ 1978 මෙන් එක් පාර්ශ්වයක් පමණක් ගෙන එන එකක් නොවී, සියලු ජන කොටස්වල ගැටලු විසඳෙන සමාජ විමසුමක් විය යුතු බවත්ය.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම රජයේ ස්ථාවරය බවය. එහෙත් කඩිමුඩියේ කෙරෙන සංශෝධනයකට වඩා නව ජනතා සම්මුතියක් වෙනුවෙන් පුළුල් කතිකාවක් ආරම්භ කිරීම වැදගත් බව ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ ගැටලු නිරාකරණය කරගැනීමට තේරීම්කාරක සභාවක් පත් කර ඇති බවත්, ඒ ඔස්සේ සාකච්ඡා පවත්වා විසඳුම් සෙවීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.



මලෙයගම් ජනතාවගේ ඉඩම් අයිතිය

මලෙයගම් වතු කම්කරුවන්ට සහ කාර්ය මණ්ඩලයට පදිංචිය සඳහා පර්චස් 10ක ඉඩම් කැබැල්ලක නීත්‍යානුකූල අයිතිය ලබා දීමේ රජයේ යෝජනාව පිළිබඳව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ වී. රාධක්‍රිෂ්ණන් මහතා මෙහිදී ප්‍රසාදය පළ කළේය.

ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පැවසුවේ 2042 වසරට පෙර වතු සමාගම් සමඟ ඇති ගිවිසුම් අලුත් කිරීමට නියමිත අතර, එහිදී ජනතාවට ඉඩම්වල නීත්‍යානුකූල අයිතිය හිමිවන වගන්ති ඊට ඇතුළත් කරන බවය.

මීට අමතරව මලොයගම් ජනතාවගේ යටිතල පහසුකම් නැංවීමට 2027 අයවැයෙන් වැඩි ප්‍රතිපාදන වෙන් කිරීමටත්, තොණ්ඩමන් සහ නෙවීඩා පදනම් ඒකාබද්ධ කර නව වැඩපිළිවෙළක් සකස් කිරීමටත් යෝජනා වී ඇති බව ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොණ්ඩමන් මහතා මතු කළ කරුණුවලට පිළිතුරු දෙමින් පැවසීය.



උතුරේ ඉඩම් ප්‍රශ්න

යුද්ධයෙන් නිවාස අහිමි වූ ජනතාවගේ දීර්ඝකාලීන ගැටලුවට විසඳුම් ලෙස අදියර දෙකක් යටතේ නිවාස 13,000ක් ඉදිකිරීමට 2027 සහ 2028 අයවැය මගින් ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපතිවරයා නිවේදනය කළේය.

දිට්වා ආපදාවෙන් නිවාස අහිමි වූවන්ට තාවකාලික නිවාස සාදා දෙන තෙක් කුලී නිවාස දීමනා ලබා දෙන බවද සඳහන් කළේය.

ජනතාවගේ ඉඩම් ජනතාවටම හිමි විය යුතුය යන්න රජයේ ස්ථාවරය බවත්, පුරාවිද්‍යා, වනසංරක්ෂණ හා මහවැලි අධිකාරිවල පැරණි ප්‍රතිපත්ති නිසා උතුරු-නැගෙනහිර ජනතාවට වන ගැටලු නිරාකරණයට සාධනීය පියවර ගනිමින් සිටින බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.



හමුවට එක්වූ නියෝජිතයෝ

මෙම හමුව සඳහා ඉලංගෙයි තමිල් අරසු පක්ෂය නියෝජනය කරමින් එම්.ඒ. සුමන්තිරන් සහ පා.ම. ශානික්‍යන් රාසමානික්කම්ද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් පා.ම. රවුෆ් හකීම් සහ පා.ම. නිෂාම් කාරියප්පර්ද, ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් පා.ම. ජීවන් තොණ්ඩමන්ද, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරමින් වී. රාධක්‍රිෂ්ණන් සහ භරත් අරුල්සාමිද, සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් එම්.එස්.එස්. අමීර් අලී, පා.ම. එම්.ඒ.එම්. තාහීර් සහ පා.ම. එන්.පී.එම්.එම්. තාහීර්ද,
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් සෙල්වම් අඩෛක්කලනාදන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සහ මුරුගේසු චන්ද්‍රකුමාර්ද එක්ව සිටියහ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem