රුපියල් ලක්ෂ 88 කට අධික රජයේ මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්ය අමාත්ය ශෂීන්ද්ර රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ අද (7) අධිචෝදනා භාර දී තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගොනු කර තිබූ මෙම අධිචෝදනා පත්ර, කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්ර ප්රේමරත්න මහතා ඉදිරියේදී විත්තිකරුවන් වෙත භාරදීම සිදු කෙරුණි.
ලක්ෂ 10 බැගින් ඇප
අධිචෝදනා භාරදීමෙන් අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.
ඊට අමතරව විත්තිකරුවන් සියලු දෙනාගේ විදේශ ගමන් තහනම් කිරීමටද පියවර ගැනුණු අතර විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන ඒ පිළිබඳ වාර්තාවක් කැඳවීමටද විනිසුරුවරයා නියෝග කළේය.
නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්රණය සඳහා එළඹෙන අගෝස්තු මස 05 වනදා නැවත කැඳවීමට නියම විය. මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස සේපාලිකා සමන් කුමාරි සහ කීර්ති බණ්ඩාර කොටගම යන අය නම් කර තිබේ.
එල්ල වී ඇති චෝදනා
2022 වසරේ මැයි මස 9 වනදා ඇති වූ අරගලයේදී ශ්රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපළවලට හානි සිදු විය.
එකී අනවසර දේපළ සඳහා වන්දි ගෙවීම ප්රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදුකර ඇති බවට විත්තිකරුවන්ට චෝදනා එල්ල වේ.
එලෙස බලපෑම් කරමින් රුපියල් අසූ අට ලක්ෂ පනස් දහසක වන්දි මුදලක් ලබා ගැනීම තුළින් "දූෂණය" නමැති වරද සිදුකිරීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත.
Comments
Moderated before publishing. Your email stays private.