දුම්කොළ නිෂ්පාදන සඳහා පනවන ලද බදු අනුක්රමයෙන් ඉහළ නැංවීමත් සමඟ 2022 සහ 2025 කාලය තුළ මෙරට දුම්වැටි නිෂ්පාදනය 32% කින් පහත වැටී ඇති බව නියෝජ්ය ආර්ථික සංවර්ධන අමාත්ය නිශාන්ත ජයවීර මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය.
නියෝජ්ය අමාත්යවරයා පෙන්වා දුන්නේ රජයේ දුම්කොළ බදු ප්රතිපත්තියේ සාර්ථක බලපෑම පිළිඹිඹු කරමින්, 2022 වසරේ පැවති බිලියන 2.8 ක දුම්වැටි නිෂ්පාදනය, 2025 වන විට බිලියන 1.9 දක්වා සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවය.
මෙම ප්රතිපත්තිය හඳුන්වා දුන්නේ රජයේ ආදායම වැඩි කර ගැනීමට පමණක් නොව, දුම්කොළ භාවිතය නිසා ඇතිවන සෞඛ්ය සංරක්ෂණ පිරිවැය සහ අනෙකුත් අහිතකර සමාජ, ආර්ථික බලපෑම් අවම කිරීමේ අරමුණින් බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
සුරාබදු, වැට් සහ ආයතනික බදු
2023 වසරේ සිට දුම්වැටි සඳහා වන සුරාබදු අවස්ථා හතරකදී ඉහළ දමා ඇති අතර එකතු කළ අගය මත බද්ද (වැට්) සහ ආයතනික ආදායම් බදු අනුපාතද සංශෝධනය කර තිබේ.
2023 ජනවාරි 1 වැනිදා සුරාබද්ද 20% කින්ද, 2023 ජූලි 1 වැනිදා තවත් 20% කින්ද ඉහළ නංවන ලදී. පසුව උද්ධමන දර්ශක යාන්ත්රණය යටතේ 2024 ජනවාරි 1 වැනිදා 14% කින් සහ 2025 ජනවාරි 11 වැනිදා තවත් 5.9% කින් එය වැඩි කර ඇත.
එකතු කළ අගය මත බද්ද 2024 ජනවාරි 1 වැනිදා සිට 15% සිට 18% දක්වා ඉහළ නැංවූ අතර ආයතනික ආදායම් බදු අනුපාතය 2025 අප්රේල් 1 වැනිදා සිට 40% සිට 45% දක්වා ඉහළ නංවා තිබේ.
වත්මන් බදු අනුපාත
2025 ජනවාරි 11 සිට ක්රියාත්මක වන පරිදි දුම්වැටියක් සඳහා වන වත්මන් සුරාබද්ද, දුම්වැටියේ දිග මත පදනම්ව තීරණය වන අතර එහිදී දුම්වැටියක් සඳහා රුපියල් 26.59 සිට රුපියල් 109.95 දක්වා බදු අය කෙරේ.
මෙසේ බදු ඉහළ නැංවීම මගින් සෘජු හා වක්ර බදු ආදායම ක්රමයෙන් වැඩි කර ගැනීමට හැකිව ඇති අතරම මහජන සෞඛ්යය ආරක්ෂා කිරීමට සහ රජයේ ආදායම් කළමනාකරණය නැංවීමටද මහත් පිටුවහලක් වූ බව නියෝජ්ය අමාත්ය නිශාන්ත ජයවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Comments
Moderated before publishing. Your email stays private.