Swipe left or right to navigate stories
දකුණු මුහුදේ මෙහෙයුමකින් කෝටි 300ක මත්ද්‍රව්‍ය සමඟ බහුදින යාත්‍රාවක් දැලේ

දකුණු මුහුදේ මෙහෙයුමකින් කෝටි 300ක මත්ද්‍රව්‍ය සමඟ බහුදින යාත්‍රාවක් දැලේ

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ බුද්ධි අංශ එක්ව දකුණු ගැඹුරු මුහුදේ දියත් කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් බිලියන 3කට (කෝටි 300කට) අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සැකකරුවන් පස් දෙනෙකු සමඟ සිය භාරයට ගැනීමට සමත්ව තිබේ.

ඊයේ (04) දින ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත් අදාළ යාත්‍රාව සහ සැකකාර ධීවරයින් අද (05) උදෑසන නාවික හමුදාව විසින් දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබූ අතර එහිදී උර 10ක් තුළ සඟවා තිබූ මත්ද්‍රව්‍ය පිළිබඳ නිල පරීක්ෂාව සිදු කෙරිණි.



අයිස් කිලෝ 100ක් සහ හෙරොයින් කිලෝ 50ක්

දික්ඕවිට ධීවර වරාය පරිශ්‍රයට පැමිණ මෙම මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය කළ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා මාධ්‍ය වෙත තහවුරු කළේ, එහි අයිස් කිලෝග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 50කට අධික තොගයක් අඩංගු බවය.

නාවික හමුදාව විසින් මත්ද්‍රව්‍යවල නිශ්චිත බර සහ ප්‍රමාණයන් පිළිබඳව තවදුරටත් කිරා බැලීම් සහ ගණනය කිරීම් සිදුකරමින් පවතින බවද වාර්තා වේ.



නාවික හමුදාවේ මෙහෙයුම් වාර්තා සහ සංඛ්‍යාලේඛන



නාවික හමුදාවේ මෙම සාර්ථක මෙහෙයුම අගය කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය බිඳවැට්ටවීම රජයේ මූලික ඉලක්කය බවය.

2025 වසරේදී නාවික හමුදාව විසින් පමණක් රුපියල් බිලියන 75ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් අතර ‘රටම එකට’ ජාතික වැඩසටහන යටතේ නාවික හමුදා සහයෝගයෙන් අත්අඩංගුවට ගත් මුළු වටිනාකම රුපියල් බිලියන 109 ඉක්මවයි.

2026 මේ දක්වා ගතවූ මාස කිහිපය තුළ පමණක් නාවික හමුදා මෙහෙයුම් මඟින් රුපියල් බිලියන 69ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇත.

සමස්ත වැටලීම්වලින් පුද්ගලයින් 314,200ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර ප්‍රබල පෙළේ ජාවාරම්කරුවන් 1,050ක් සිටී. මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යාත්‍රා 63ක් (බහුදින යාත්‍රා 11ක් ඇතුළුව) සහ පුද්ගලයින් 353 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.



"රටේ අනාගතය තීරණය කරන්නේ ජාවාරම්කරුවන් නොවෙයි"

රට තුළ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සියලු සබඳතා සහ ක්‍රියාකාරකම් මේ වන විට හඳුනාගෙන ඇති බවත්, ඔවුන්ට නීතියෙන් කිසිදු ගැලවීමක් නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා දැඩිව අවධාරණය කළේය.

මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට පූර්ණ බලතල පවරා ඇති බව පැවසූ ඒ මහතා, ජාවාරම්කරුවන් සහ නීතිවිරෝධී ක්‍රියා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් 1818 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ වහාම ආරක්ෂක අංශ වෙත දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem