දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අතර ප්රදේශයේදී අද (21) උදෑසන සිදුවූ බහු වාහන අනතුරෙන් තුවාල ලැබූ පාසල් ළමුන් 6 දෙනෙකු ඇතුළු 10 දෙනෙකු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.
අනතුර හේතුවෙන් බාධා පැමිණ තිබූ ගමනාගමන කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර තිබේ.
අනතුර සිදුවූ ආකාරය
මාතර සිට කොළඹ දක්වා පාසල් දරුවන් රැගෙන යමින් තිබූ බස් රථයක කැබ් රථයක් ගැටී ඇති අතර ඒ සමඟම පිටුපසින් පැමිණි තවත් වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
බස් රථ දෙකක් සහ මෝටර් රථ 6 ක් ඇතුළු වාහන කිහිපයක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.
තුවාලකරුවන් රෝහලට
අනතුරින් තුවාල ලැබූ පාසල් ළමුන් 6 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් මේ වන විට එහි ප්රතිකාර ලබයි.
ගමනාගමනය යථා තත්ත්වයට
අනතුරත් සමඟ මාර්ගය අවහිර වීමෙන් කොළඹ දෙසට දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වූ අතර තත්ත්වය පාලනය කිරීම සඳහා ගාල්ල දෙස සිට කොළඹ දක්වා ගමන් ගන්නා වාහන දොඩංගොඩ පිටවීමේ දොරටුවෙන් පිටතට හරවා යැවීමටද පොලීසිය පියවර ගෙන තිබේ.
අනතුරෙන් පසු කොළඹ දෙසට එක් මංතීරුවකට පමණක් සීමාවී තිබූ ගමනාගමනය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව අධිවේගී මාර්ග පොලීසිය වැඩිදුරටත් තහවුරු කරයි.
Comments
Moderated before publishing. Your email stays private.