Swipe left or right to navigate stories
ත්‍රිකුණාමල රෝහලේ නව හෘද රෝග ඒකකයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

ත්‍රිකුණාමල රෝහලේ නව හෘද රෝග ඒකකයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන හෘද රෝග සත්කාර සේවාවන් ලබාදීමේ අරමුණින්, ත්‍රීකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ සිදු කෙරිණි.

හෘද වාහිනී රෝග හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීමේ පහසුකම් ශක්තිමත් කිරීම සඳහා ජපාන රජයේ මූල්‍ය සහාය මත ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය මගින් ක්‍රියාත්මක සෞඛ්‍ය සහ වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 2,403 ක වියදමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.



මහල් 8 ක නවීන පහසුකම්

අති නවීන ශල්‍යාගාර, බාහිර රෝගී අංශ, නේවාසික රෝගී ප්‍රතිකාර පහසුකම් සහ අංග සම්පූර්ණ විද්‍යාගාර වලින් සමන්විත මෙම හෘද රෝග ඒකක ගොඩනැගිල්ල මහල් 8 කින් සමන්විත අතර 2028 මැයි මාසය වන විට එහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව ඇත.

මෙහිදී සමරු ඵලකය නිරාවරණය කර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වූ ජනාධිපතිවරයා රෝහල් කාර්ය මණ්ඩලය සමඟද සුහද කතාබහක නිරත විය.



සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල ආයෝජනයක්

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ලබාදුන් පොරොන්දුව ඉටුකරමින් මෙම ඉදිකිරීම් ආරම්භ කළ බවය.

මෙම ව්‍යාපෘතිය සඳහා ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් මිලියන 2,403 ක්ද, උපකරණ මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 1,782 ක්ද ලෙස සමස්තයක් ලෙස රුපියල් මිලියන 4,185 කට ආසන්න වටිනාකමක් වෙන් කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

මීට අමතරව අද දිනය පුරා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන ඉදිකිරීම් 4කට මුල් ගල් තැබෙන බවත්, ඒ අනුව

  • මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල: ඉන්දියානු ආධාර යටතේ රුපියල් මිලියන 600ක වියදමින් ඉදිකෙරෙන හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය.
  • මුලතිව් රෝහල: රුපියල් මිලියන 600ක වියදමින් මහල් 4 කින් සමන්විත වෛද්‍ය වාට්ටු ඒකකය.
  • අනුරාධපුර ශික්ෂණ රෝහල: රුපියල් මිලියන 3,000කට වඩා වටිනාකමකින් යුත් හෘද රෝග ඒකකය.

මෙලෙස සමස්තයක් ලෙස රුපියල් මිලියන 7,100ක පමණ ඉදිකිරීම් සහ උපකරණද සමඟින් රුපියල් මිලියන 12,000ක පමණ පහසුකම් අද දිනයේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට එක්වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem