දිවයින පුරා ඩෙංගු රෝගය ශීඝ්රයෙන් ව්යාප්ත වෙමින් පවතින අතර මෙම වසර (2026) තුළ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්යාව 57,668ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.
රෝගය වැළඳීමෙන් සිදු වූ සමස්ත මරණ සංඛ්යාව ඊයේ (2) මධ්යම රාත්රිය වන විට 36 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්තවලට අනුව මෙරට ඩෙංගු රෝගී මරණ අනුපාතිකය සියයට 0.06 ක් ලෙස සටහන් වේ.
ජූලි මාසයේ මුල් දින දෙක තුළ පමණක් අලුතින් ඩෙංගු රෝගීන් 2,278 දෙනෙකු වාර්තා වී ඇති බව දත්ත වාර්තා පෙන්වා දී ඇත.
බස්නාහිර සහ දකුණ දැඩි අවදානමක
නිල දත්තවලට අනුව පසුගිය ජූනි මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 21,549ක් හඳුනාගෙන ඇති අතර ඉන් බහුතරයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතිනි.
සමස්ත රෝගීන්ගෙන් සියයට 52.46ක්ම එනම් රෝගීන් 30,253ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දෙවැනි වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ රෝගීන් 9,184ක් (15.93%) වාර්තා වූ දකුණු පළාතටය.
රෝගීන් වාර්තා වීම
- කොළඹ දිස්ත්රික්කය: 11,811ක්
- ගම්පහ දිස්ත්රික්කය: 11,443ක්
- මාතර දිස්ත්රික්කය: 4,190ක්
- කළුතර දිස්ත්රික්කය: 3,874ක්
- රත්නපුර දිස්ත්රික්කය: 3,481ක්
- මහනුවර දිස්ත්රික්කය: 3,471ක්
- ගාල්ල දිස්ත්රික්කය: 3,318ක්
- කොළඹ මහා නගර සභා බල ප්රදේශය: 2,487ක්
සෞඛ්ය අංශ උපදෙස්
සෞඛ්ය අංශ පෙන්වා දී ඇත්තේ පවතින වසංගත තත්ත්වය හමුවේ දිවයින පුරා සෞඛ්ය වෛද්ය නිලධාරී කොට්ඨාස 124 ක් මේ වන විට අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බවය.
පවතින වැසි සහිත කාලගුණයත් සමග ඉදිරි සති කිහිපය තුළ ජනතාව වඩාත් සෞඛ්යාරක්ෂිතව සහ වගකීමෙන් කටයුතු නොකළහොත් මදුරුවන් බෝවීම තවදුරටත් ඉහළ ගොස් තත්ත්වය බරපතළ විය හැකි බවට සෞඛ්ය බලධාරීන් අනතුරු අඟවා ඇත.
රෝගය පාලනය කිරීම සඳහා රාජ්ය ආයතන, පාසල් සහ නිවාස ආශ්රිතව මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට ජනතාව වහාම පියවර ගත යුතු බවත්, උණ රෝග ලක්ෂණ පවතින්නේ නම් ප්රමාද නොවී සුදුසු වෛද්ය ප්රතිකාර සඳහා යොමුවිය යුතු බවත් සෞඛ්ය අංශ වැඩිදුරටත් අවධාරණය කරයි.
Comments
Moderated before publishing. Your email stays private.