ඩිජිටල් රක්ෂණ කාඩ්පත සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ලබාදී ඇති උපදෙස් සහ මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් රියදුරන් අපහසුතාවයට පත්කිරීම බරපතළ රාජකාරී පැහැරහැරීමක් බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා ප්රකාශ කර සිටියි.
අද (3) පැවති මාධ්ය හමුවකට එක්වෙමින් නියෝජ්ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය. පාදුක්ක සහ ගම්පහ යන පොලිස් ස්ථානවල නිලධාරීන් කිහිපදෙනෙකු ඩිජිටල් රක්ෂණ කාඩ්පත් පිළිගැනීම ප්රතික්ෂේප කරමින් මහජනතාව පීඩාවට පත්කළ බවට වාර්තා වී ඇති බවද ඒ මහතා මෙහිදී ප්රකාශ කළේය.
නීතිමය පිළිගැනීම සහ උපදෙස්
R.T.M. 93 පනත මගින් මැයි 5 වැනි දින අතිරේක පණිවිඩයක් මගින් රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් අනුමත කර ඇති, මෙරට ප්රමුඛ රක්ෂණ ආයතන 14 ක් මගින් නිකුත් කරනු ලබන ඩිජිටල් රක්ෂණ කාඩ්පත් නිල වශයෙන් පිළිගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇත.
එමෙන්ම 2006 අංක 19 දරන විද්යුත් ගනුදෙණු පනත ප්රකාරව ඩිජිටල් රක්ෂණ කාඩ්පත් සඳහා පූර්ණ නීතිමය පිළිගැනීම හිමිවන බවද නියෝජ්ය පොලිස්පතිවරයා පැහැදිලි කළේය.
මේ වන විට දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන 607 හිම ස්ථානාධිපතිවරුන් මාර්ගයෙන් ඊට අදාළ නිලධාරීන් නැවත දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.
තහවුරු කරගන්නා ක්රමවේද
රියදුරෙකු සතුව ඩිජිටල් රක්ෂණ කාඩ්පත නොමැති අවස්ථාවකදී වුවද, #1338# ඇමතීමෙන්, 1338 අංකයට කෙටි පණිවිඩයක් (SMS) යොමු කිරීමෙන් හෝ 1338 ක්ෂණික ඇමතුම් මධ්යස්ථානය ඇමතීම යන නොමිලේ සපයන ක්රමවේද ඔස්සේ අදාළ රක්ෂණාවරණය සක්රීය බව තහවුරු කරගැනීමට පොලිස් නිලධාරීන්ට හැකියාව ඇත.
යම්කිසි පොලිස් නිලධාරියෙකු ඩිජිටල් රක්ෂණ කාඩ්පත පිළිගැනීම ප්රතික්ෂේප කරන්නේ නම් ඒ පිළිබඳව ළඟම පිහිටි පොලිස් ස්ථානාධිපතිවරයාට හෝ රථවාහන මූලස්ථානයේ 070-4755600 යන විශේෂ දුරකථන අංකයට පැමිණිලි කරන ලෙසද නියෝජ්ය පොලිස්පතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
එලෙස උපදෙස් උල්ලංඝනය කරන නිලධාරීන්ට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බවද එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Comments
Moderated before publishing. Your email stays private.