Swipe left or right to navigate stories
ඩයමන්ඩ් ලීගයෙන් පසු රුමේෂ් තරංග ලෝකයේ 5 වැනි තැනට

ඩයමන්ඩ් ලීගයෙන් පසු රුමේෂ් තරංග ලෝකයේ 5 වැනි තැනට

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි පස්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග සමත්ව තිබේ.

මොරොක්කෝවේ රබාත් නුවරදී පැවැති රබාත් ඩයමන්ඩ් ලීග් තරගාවලියෙන් අනතුරුව ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් නිකුත් කරන ලද නවතම ශේණිගත කිරීම්වලට අනුව ඔහු මෙම සුවිශේෂී දක්ෂතාවය සපුරා ඇත.

රබාත් ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී මීටර් 85.97 ක දක්ෂතාවක් දැක්වීමට සමත් වූ 23 හැවිරිදි තරංග, එම තරගාවලියේ 2 වැනි ස්ථානයට පත් විය. එහිදී ඔහු දෙවැනි වූයේ දෙවතාවක්ම ලෝක ශූරතාව දිනූ සහ 2024 ඔලිම්පික් ලෝකඩ පදක්කම්ලාභී ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පීටර්ස්ට පමණි.



පාසල් පිටියෙන් ලෝක තලයට

ගාල්ල රිටිගල මහා විද්‍යාලයෙන් මූලික ක්‍රීඩා අත්පොත් තැබූ රුමේෂ් තරංග, පසුව කොළඹ සාන්ත පීතර විද්‍යාලයට ඇතුළත් වෙමින් පාසල් මලල ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කළේය.

අනතුරුව 2023 වසරේ දකුණු කොරියාවේ පැවැති ආසියානු U20 මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 78.28 ක දුරක් වාර්තා කරමින් රන් පදක්කම දිනාගැනීමට ඔහු සමත් විය.

ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතාගේ කැපවීම සහ මඟපෙන්වීම යටතේ ක්‍රමානුකූලව තමන්ගේ දක්ෂතා වර්ධනය කරගත් තරංග, මෙම වසරේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති තරගාවලියකදී මීටර් 89.37 ක දුරක් සටහන් කරමින් ශ්‍රී ලංකා ජාතික වාර්තාවද තමන් සතු කරගත්තේය.



ඔලිම්පික් බලාපොරොත්තුව

ඔලිම්පික් පදක්කම්ලාභීන් සහ ලෝකයේ ප්‍රබලතම ක්‍රීඩකයන් සමග කරට කර තරග වදිමින් රුමේෂ් ලබාගත් මෙම ශේණිගත ස්ථානය, ඉදිරි ඔලිම්පික් සහ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිවලදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පදක්කමක් දිනාගැනීම සඳහා ගොඩනැගූ බලාරොත්තුවක් ලෙස හැඳින්විය හැකිය.

මේ වන විට හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගැනීමට ජර්මනියේ ජූලියන් වෙබර් සමත්ව සිටින අතර ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පීටර්ස්, ට්‍රිනිඩෑඩ් සහ ටොබෝගෝහි කෙෂ්රන් වොල්කොට් සහ ඉන්දියාවේ නීරජ් චෝප්රා පිළිවෙළින් එහි ‍දෙවැනි, තෙවැනි සහ සිවුවැනි ස්ථානවල පසුවෙති.

කෙසේ වුවත් ඔවුන් කිසිවකු මෙම වසර තුළදී තවමත් තරංගගේ ඉහළම දක්ෂතාව වන මීටර 89.37 අභිබවා යෑමට සමත් වී නොමැත.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem